women
ලාංකීය ගැමි කත හා ඇගේ රැකියා
by admin
ඔක්තෝබර් 21, 2015

කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත කටයුතු ගැමි කාන්තාවන්ගේ ප්‍ර‍ධාන ගෘහස්ථ ආදායම් මාර්ගය බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි. ගොයම් කැපීම, පැළ සිටුවීම, තේ දළු නෙළීම, රබර් කිරි කැපීම, වල් පැළ නෙළීම, අස්වනු නෙළීම, වතුර ඇදීම වැනි කටයුතුවල කාන්තාවෝ සුලබව යෙදී සිටිති. ඒ එක්කෝ තමන්ගේ ම ගෙවත්තේ හෝ පවුලේ ගොවිපළක හෝ වෙන්නට පුළුවන. නැතිනම් වෙනත් අයෙකුගේ දේපලක කුලියට වෙන්නට පුළුවන. කුලී වැඩ කරන ගැමි කාන්තාවන්ට ගෙවන වැටුප එම කාර්යයන් ම කරන පිරිමින්ට ගෙවන වැටුපට වඩා අඩු ය.

ධීවර ගම්මානවල කාන්තාවන් කරවල වේලීම, ඉරුණු දැල් එලලීම වැනි ගෘහාශ්‍රිත කර්මාන්තවල යෙදෙති. මඩකලපුව හා අම්පාර වැනි දිස්ත්‍රික්කවල ගැමි කාන්තාවෝ විවේකී කාලය තුළ නො ගැඹුරු හා කලපු දියෙහි මාළු ඇල්ලීම හා එම අස්වැන්න අලෙවි කිරීම ද කරති (Dharmaretnam and Thamilchelvi, 2003).

සත්ව පාලනය ආශ්‍රිතව හරකුන්, එළුවන්, කුකුළන් ඇති කිරීම, තණකොළ කැපීම, කිරි දෙවීම වැනි කටයුතුවල ද ගැමි කාන්තාවෝ යෙදී සිටිති.

ගැමි කාන්තාවන් හස්ත කර්මාන්ත, කෑම වර්ග සැකසීම, ඇඳුම් මැසීම වැනි ස්වයං රැකියාවල යෙදී සිටින අවස්ථා සහ කුඩා වෙළඳසල් පවත්වාගෙන යාම, අස්වනු මිළ දී ගෙන නාගරික පොළවල හා පදික වේදිකාවල වෙළඳාම් කිරීම, සංචාරක වෙළඳාම වැනි කටයුතුවල ද යෙදී සිටින අවස්ථා දැකිය හැකි ය.

ගෙවතු වගාව ද ගැමි කාන්තාවන් අතර ප්‍ර‍චලිත ය. මේවායින් උපදවන ආදායම සුළු වුවත් එය ගෘහ ආර්ථිකය පවත්වාගෙන යාමේදී  හා පවුලේ පෝෂණය සඳහා ඉතා වැදගත් වේ.

ගැමි කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දෙන කර්මාන්ත ග්‍රාමීය ප්‍රදේශවල සුලබ නැත. තේ, රබර්, පොල් ආශ්‍රිත කර්මාන්ත ශාලා අතීතයේ සිට ම ග්‍රාමීය ප්‍රදේශවල දක්නට ලැබිණි. ගඩොල් කැපීම, වැලි ගොඩ දැමීම, වළං කර්මාන්තය, ලුණු කර්මාන්තය වැනි කර්මාන්ත ආශ්‍රිතව සීමිත රැකියා අවස්ථා ප්‍ර‍මාණයක් එම කර්මාන්ත ව්‍යාප්තව තිබෙන ප්‍රදේශ ආශ්‍රිතව තිබේ.

1980 දශකයේ සිට ග්‍රාමීය ප්‍රදේශවල කර්මාන්තකරණය සංවර්ධනය විය. විශේෂයෙන් ම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත වැනි ශ්‍ර‍ම සූක්ෂම කර්මාන්ත ග්‍රාමීය ප්‍රදේශ කරා විහිදිණි. ඒවායින් විශේෂයෙන් ම ගැමි තරුණියන්ට රැකියා අවස්ථා වැඩි විය. එසේම ගැමි තරුණියන් නිදහස් වෙළඳ කලාපවල රැකියා සඳහා සංක්‍ර‍මණය වීමේ ප්‍ර‍වණතාව ද වැඩි විය.

2013 වන විට නිදහස් වෙළඳ කලාපවල 130,863ක් වන ශ්‍ර‍ම බලකායෙන් 58.5%ක් ම කාන්තාවෝ ය.

1980 දශකයේ අගභාගයේ සිට නුපුහුණු ශ්‍ර‍මිකයන් ලෙස විශේෂයෙන් ම මැද පෙරදිග රටවලට කාන්තාවන් සංක්‍ර‍මණය වීම වැඩි විය. එයින් ලැබෙන ආදායම් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට බෙහෙවින් ඉවහල් වන මුත්, මව්වරුන් විදේශ රැකියා සඳහා සංක්‍ර‍මණය වීමෙන් දරුවන්ට ඇති වන බලපෑම හා පවුල් සංස්ථා අවුල් වීම වැනි සමාජ ගැටලු රාශියක් තිබේ.

2013 වසරේදී කම්කරුවෝ 293,105ක් මැද පෙරදිග හා වෙනත් රටවලට සංක්‍ර‍මණය වූ අතර ඒ අතරින් 40.28%ක් ම කාන්තාවෝ ය. ඒ අතරින් 96,934ක් ගෘහ සේවක රැකියා වෙනුවෙන් සංක්‍ර‍ණය වූ අතර ඒ අතරින් 82.10%ක් ම කාන්තාවෝ ය. ඔවුන් අතරින් ද සැලකිය යුතු පිරිසක් ගැමි කාන්තාවෝ ය.

කාන්තාවන් අතර රැකියා කරන්නන් ප්‍ර‍තිශතය 54%කි. ඒ අතර කාන්තාවන් අතර සේවායෝජකයන් සිටින්නේ 0.9%ක් පමණි. ස්වයං රැකියාවක නියැලෙන්නෝ ප්‍ර‍තිශතය 24%ක් වන අතර පවුලේ ගොවිතැනක් හෝ ව්‍යවසායක් හෝ තුළ වැටුප් නො ලබා වැඩ කරන්නෝ 20.5%කි.

කාන්තාවන් පවුල් තුළ හා පවුලේ ව්‍යවසාය තුළ කරන මෙහෙයේ වටිනාකම බොහෝ විට නිවැරදිව තක්සේරු වන්නේ නැත. ඇතැම් විට ඉතා අසාධාරණ ලෙස මෙම කාන්තාවන් ආර්ථික වශයෙන් අක්‍රිය කොටසක් ලෙස ද වර්ගීකරණය කර තිබෙනු දක්නට ලැබේ. 

තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ට ලැබෙන අවස්ථා සීමිත වීම දේශපාලනය තුළින් මැනැවින් නිරූපණය වේ. කාන්තාවන්ගේ පාර්ලිමේන්තු නියෝජනය 6%ට අඩු මට්ටමක පවතී.  2010-2015 පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මුළු මන්ත්‍රීන් 225න් 13ක් පමණි. ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වීම සඳහා තිබෙන අවස්ථාව ඉතා අඩු ය. පළාත් සභාවල කාන්තා නියෝජනය 4%ටත් අඩු ය. 2013 වන විට පළාත් සභාවල ඇමති තනතුරු කිසිවක් කාන්තාවන්ට හිමි වී තිබුණේ නැත. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ද එවැනි ම අඩු මට්ටමක පවතී.

එහෙත්, රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 40% ඉක්මවයි. පළාත් සභා සේවය තුළ සිටින රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 59.7%කි. එයින් නිරූපණය වන්නේ ග්‍රාමීයව රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන බවයි.

2014 වන විට අමාත්‍යාංශ ලේකම්වරුන් අතරින් 20%ක් කාන්තාවන් වූ හ. සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු අතරින් 59.6%ක් ම හොබවන්නේ කාන්තාවන් විසිනි. එහෙත්, අති බහුතරයක් (73.2 %) කාන්තාවන් සේවයේ නියුතුව සිටින ගුරු වෘත්තිය තුළ විදුහල්පතිනියන් සිටින්නේ 20%ක් පමණි. එහෙත්, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් තුළ කාන්තා ප්‍ර‍තිශතය පිරිමි ප්‍ර‍තිශතයට ආසන්න මට්ටමක තිබේ.

COMMENTS ()

admin
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS