youth
හොඳම සෙල්ෆියට වඩා ජීවත් වන එක තත්පරය වටියි
by පැරකුම් ජයසිංහ
ජූනි 13, 2017

(ඉහත ඡායාරූපයේ සිටින කොලට් මොරිනෝ හා ඈෂ්ලි තියෝබෝල්ඩ් මෙම සෙල්ෆි ඡායාරූපය ගෙන මොහොතකට පසු රිය අනතුරකින් මිය ගිය හ.)

ජුනි මස 11දා සවස කොල්ලුපිටියේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණි තරුණයකු සිය මව්පියන් ඉදිරියේ සිය බාල සහෝදරයාත් සමග එකට ම මිය ගිය පුවත වාර්තා වී පැය ගණනක් ඇතුළත අම්බලන්ගොඩදී රේල් පාරේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි අලුත විවාපත්ම ද දුම්රියේ හැපී මනාලයා ක්ෂණිකව මිය ගිය බව වාර්තා විය.

පසුගිය මාස පහක පමණ කාලය තුළ සෙල්ෆි ඡායාරූප සම්බන්ධ මෙවැනි දුම්රිය අනතුරු නිසා පුද්ගලයන් 20ක් පමණ මිය ගිය බම දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර ප්‍රේමරත්න පැවසූ බව ජුනි 13දි ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි.

සෙල්ෆි ඡායාරූප ගැනීමේ ලොල්කම වැඩිපුර ම ඇත්තේ තරුණ පරපුර තුළ ය. ඒ නිසා සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදු වන අනතුරුවලින් වැඩි ප්‍ර‍මාණයක ගොදුරු බවට පත් වන්නේ ද තරුණ තරුණියන් ම ය.

තරුණ තරුණියන් මෙතරම් සෙල්ෆි ඡායාරූප ගන්නේ එය සැහැල්ලු, විනෝදාත්මක, සමාජශීලී සන්නිවේදනයක් වන නිසා ය. බොහෝ සෙල්ෆි ඡායාරූප සමාජ ජාල ඔස්සේ මිතුරු මිතුරියන් අතර බෙදා හදා ගනු ලැබේ. එය ලොව පුරා ම තාරුණ්‍යයේ ලක්ෂණයක් බවට පත් වී හමාර ය.

සෙල්ෆි ඡායාරූප ගැනීමෙහි මනෝ විශේලේෂණීය සාධක පිළිබඳ නොයෙක් මතවාද තිබේ. එහෙත්, එය ද තරුණ තරුණියන් අතර පැතිර යන වෙනත් විලාසිතා වැනි ම තත්වයක් මිස අමුතු සුවිශේෂ තත්වයක් නො වේ. තරුණ තරුණියන් ඩෙනිම් කලිසම් ඇඳීමට කැමැත්තක් දක්වන්නේ ඇයි ද යන්න ගැන නො කරන අමුතු මනෝ විශ්ලේෂණයක් සෙල්ෆි ඡායාරූප ගැනීම පිළිබඳ කරන එක තේරුමක් නැත.

ජනප්‍රිය රැළිවල තාර්කිකත්වය නිර්මානය වන්නේ විචාරශීලිත්වයෙන් නො වේ. ජනප්‍රියත්වයේ ගාමක බලයන් ඇත්තේ ජනප්‍රියත්වය තුළ ම ය.

දුම්රිය මාර්ගවල ඇවිදීම, පාපුවරුවේ ගමන් කිරීම ආදිය සාමාන්‍ය නීතිය යටතේත් වරදකි. එහෙත් නීතිවලින් ම රටක ජනතාව විනයගත කළ නො හැකි ය.

ලංකාවේ තරුණ ජනයා සෙල්ෆි ඡායාරූප ගැනීමේදී ද පරාවර්තනය කරන්නේ සාමාන්‍ය ජීවිතයේදී ලාංකික පුරවැසියා නිරූපණය කරන වගකීම් විරහිතභාවය ම යයි ද තර්ක කළ හැකි ය.

“ෆෝන් එක ස්මාර්ට් වුණාට මදි. තමනුත් ස්මාර්ට් වෙන්න ඕන. ඒ වගේම සංවේදී වෙන්නත් ඕනෑ,” යි සෙල්ෆි ඡායාරූප ගැන කතා කරමින් ජනමාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන වරක් පුවත්පතකට පැවසී ය.

සෙල්ෆි ඡායාරූප ගැනීමේදී ඇති වන අවදානම් පිළිබඳව අවබෝධයක් නැති අයෙකුට ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්නට අවශ්‍ය අවබෝධය ද තිබිය නො හැකි ය. මෙතන ඇත්තේ අවබෝධය පිළිබඳ ප්‍ර‍ශ්නයක් නොව, නොසැලකිල්ල පිළිබඳ ප්‍ර‍ශ්නයකි.

තරුණයන් නිතර සිහි තබා ගත යුතු කරුණක් වන්නේ හොඳම සෙල්ටෆියටත් වඩා ජීවත් වන එක තත්පරය වටිනා බවයි.

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS