women
ගැටලුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වල ය
by පැරකුම් ජයසිංහ
මැයි 16, 2017

පෞද්ගලික ආයතනයක නීතිය හදාරන ශිෂ්‍යාවක් සිය රුචිකත්වය මත සමාජ ජාල ඔස්සේ මිතුරන් සමග බෙදා ගන්නා ලද නිරූපණ ඡායාරූප කිහිපයක් මත පදනම්ව ඇය දැඩි ගර්හාවකට ලක් කරන අදහස් පද්ධතියක් මේ මොහොතේ සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන් ම නීති වෘත්තියෙහි නියැලි ඇතැම් අය අතර ප්‍ර‍චාරය වෙමින් තිබෙනවා.

පහත දැක්වෙන ෆේස්බුක්හි පළ වූ අදහස එය සංකේතාත්මකව නිරූපණය කරනවා.

lawyer_response

ඇයට වෙසඟනක් ය කියා පදනම් විරහිතව කරන ප්‍ර‍කාශය ඇත්තට ම දැඩි ලෙස නීති විරෝධී අපහාසයකි. එයට පදනම් කරගෙන ඇත්තේ ඇය නීති උපාධිය ලබා ගැනීමෙන් පසු සිය සතුට ප්‍ර‍කාශ කිරීම සඳහා ඉන්ස්ටග්‍රෑම්හි තබන ලද මෙම සටහනෙහි ඇය අධ්‍යාපනය සඳහා මුදල් සොයා ගැනීමට මත්පැන්හලක සේවය කළ බව දක්වා තිබීමයි.

මේ පිළිබඳ සමාජ මාධ්‍යකරුවකු වන චමල් අකලංක පොල්වත්තගේ විසින් තබන ලද දීර්ඝ සටහනෙහි මෙසේ දැක්වෙනවා.

“1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පණතේ 40 සිට 44 අනු වගන්ති වල නීතිඥයන් පිළිබඳ දක්වා ඇත. ඒ කිසිම ස්ථානයක ” බාර් එකක ” වැඩ කර තිබීම නීතිඥයෙක්ට තහනම් බව දක්වා නැත.

“ඇරත් ඇය තවම ශිෂ්‍යාවකි. ඇගේ පෞද්ගලික කාරණා ඔහුට කොහෙත්ම අදාල විය යුතු නැත..

“අධ්‍යාපනය ලබන කල බාර් එකක වැඩ කර තිබීම හා නීතිඥ වෘත්තියේ ගෞරවය අතර ඇත්තේ සිරියානු යුද්ධය හා හැලප තැම්බීම වගේ නොගැලපෙන සම්බන්ධයකි.”

ඒ හා සම්බන්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ අදහසක් නව පරපුරේ ජනප්‍රිය, දක්ෂ නිළියක වන සමනලී ෆොන්සේකා විසින් තබන ලද පහත සටහනින් ලබා ගත හැකියි.

“තම විනෝදාංශය සමාජගත කිරීමෙන් මේ දොස්තරවරයාට ලැබුනු ඒ ධනාත්මක ප්‍රතිචාරය, නීතිඥවරියක් ලෙස ඇයට නොලැබීමට හේතුව ලිංගික කුහකත්වය නොවේද? බුද්ධිමත්වීම හා වෘත්තීය සදාචාරය රැකීම යන ක්‍රියාවලීන් දෙකම එක් දෘෂ්ටිවාදයක දෙපැත්තක් වන්නේ ස්ත්‍රියට පමණද?”

ඇය විසින් සඳහන් කරන ලද වෛද්‍යවරයා වන්නේ පණ්ඩුල බස්නායකයි. මහනුවර රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වන ඔහුගේ විනෝදාංශය කාය වර්ධන අභ්‍යාස වන අතර ඒ හා සම්බන්ධව ඔහු සමාජ ජාල සමග බෙදා ගත් ඡායාරූපවලට සමාජයෙන් ලැබුණේ ඉතා සාධනීය ප්‍ර‍තිචාරයකි.

මේ ඒ අතරින් ඡායාරූප දෙකක්.  ඇය විසින් බෙදා ගන්නා ලද ඡායාරූප හා මෙම ඡායාරූප මූලික වශයෙන් ගත්තොත් සමාන ය. ඒවා ඔවුන්ගේ අනුරාගයන් හා නිදහස සමග බැඳී පවතී. ගැටලුව ඇත්තේ ඒ දෙස බලන ඇස්වල ය.

pandula_basnayake1pandula_basnayake2

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS