women
කාන්තා ගෘහ මූලික පවුල් වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක්
by පැරකුම් ජයසිංහ
මැයි 17, 2017

2012/13 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ ගෘහස්ථයන් මිලියන 5.2ක් අතරින් පවුල් මිලියන 1.2ක් හෙවත් 23%කට වැඩි ප්‍ර‍මාණයක ම ගෘහ මූලිකත්වය උසුලන්නේ කාන්තාවන් විසිනි.

උතුරු පළාතේ පමණක් කාන්තා මූලික ගෘහයන් 58,121ක් හඳුනාගෙන තිබේ. දශක තුනක් තිස්සේ ඇදී ගිය සිවිල් යුද්ධය නිසා යුද්ධයෙන් උතුරු නැගෙනහිර කාන්තාවන් 90,000ක් වැන්දඹු වී ඇතැයි සැලකේ.

එහෙත් කාන්තා ගෘහ මූලික පවුල් යනු මුළු රට පුරා ම විසිරී ඇති ප්‍ර‍ජාවකි. පළාත් වශයෙන් සලකා බැලුවහොත්, කාන්තා ගෘහ මූලික පවුල් වැඩි ම ප්‍ර‍තිශතයක් හමු වන්නේ මධ්‍යම පළාතේ ය. එහෙත් දිස්ත්‍රික්ක වශයෙන් සලකා බැලුවහොත්, වැඩිම කාන්තා ගෘහ මූලික පවුල් සිටින්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ය.

කාන්තා ගෘහ මූලික පවුල්
කාන්තා ගෘහ මූලික පවුල්

කාන්තා ගෘහ මූලිකයන් යනු කවරෙක් ද?

කාන්තා ගෘහ මූලිකයන් පිළිබඳ ඉතා විධිමත් අර්ථ නිරූපණයක් නැත. එහෙත්, සාමාන්‍යයෙන් ගත් කල, පහත දැක්වෙන ප්‍ර‍වර්ගවල කාන්තාවෝ පවුල්වල ගෘහ මූලිකත්වය හොබවති.

වැන්දඹුවෝ: කාන්තා ගෘහ මූලිකයන් අතරින් 50%ක් වැන්දඹුවෝ ය. සැමියා මිය ගිය ආකාර විවිධාකාර ය. ස්වාභාවික හේතු, සියදිවිනසාගැනීම, රජයේ හමුදා හෝ කැරැලිකරුවන් අතින් මරණයට පත් වීම වැනි හේතු ඒ අතර වේ.

විවාහක: කාන්තා ගෘහ මූලිකයන්ගෙන් 30%ක් විවාහක අය වෙති. ඔවුන් අතරින් එක් කොටසකගේ සැමියන් වැඩි ආදායම් වෙනුවෙන් විදේශ රටවල රැකියා සඳහා ගොස් තිබේ. තවත් කොටසකගේ සැමියා අතුරුදහන් වී තිබේ. එසේම, සැමියා දැඩි ලෙස රෝගාතුර හෝ ආබාධිත හෝ තත්වයට පත් වීම වැනි හේතු නිසා ද කාන්තාවෝ ගෘහ මූලිකත්වයට පත් වෙති.

වෙන් වූ / දික්කසාද වූ: කාන්තා ගෘහ මූලිකයන්ගෙන් 15%ක් මෙම ප්‍ර‍වර්ගයට අයත් වෙති.

කිසිදා විවාහ නොවූ / තනිකඩ: කාන්තා ගෘහ මූලිකයන්ගෙන් 4%ක් මෙම ප්‍ර‍වර්ගයට අයත් වෙති.

මීට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වලට සුවිශේෂ තත්වයක් වන්නේ හිටපු සටන්කාමී කාන්තා ගෘහ මූලිකයෝ ය. සංඛ්‍යාවෙන් 3000ක් පමණ වන මෙම පිරිසෙහි ඇතැමෙකුගේ සැමියා මිය ගොස් හෝ අතුරුදහන් ව තිබේ. මොවුන් සුවිශේෂ අධි අවදානම් පිරිසක් ලෙස සැලකිය හැකි ය.

අධ්‍යයනය අනුව කාන්තා ගෘහ මූලිකයන් අතරින් රැකියාවල නියුක්ත වී සිටින්නේ 35%කට අඩු පිරිසකි.

වතුකරයේ කාන්තා ගෘහ මූලිකයන් අතරින් 52%ක් රැකියාවල නිරත වී සිටින මුත්, එම රැකියාවල තත්වය බොහෝ පහත් ය.

කාන්තා ගෘහ මූලිකයන්ගෙන් 22%ක් ම තමන් රැකියාවක් කිරීම සඳහා වයසින් වැඩි බව ප්‍ර‍කාශ කර තිබේ.

දශක ගණනාවක ගෝලීය අධ්‍යයන විසින් පෙන්වා දී තිබෙන පරිදි කාන්තා මූලික ගෘහ බොහෝ විට දරිද්‍ර‍තාවේ ගිලෙති.

සංවර්ධන ක්‍රියාවලියෙහි ලා කාන්තාවන්ගේ දායකත්වය හා ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමේ අරමුණින්, ‘කාන්තා ගෘහ මූලික පවුල්’ උදෙසා දිවයින පුරා ක්‍රියාත්මක විය යුතු ඒකාබද්ධ ප්‍රවේශයක්  රජය විසින්සැලසුම් කරමින් තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ තාක්ෂණික අනුග්‍ර‍හය ඇතිව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කරමින් තිබේ.

එහිදී කාන්තා ගෘහ මූලිකයන්ට සෞඛ්‍ය හා මනෝ සමාජයීය සහාය (physio -social support) ලබා දීම, ජීවනෝපාය සංවර්ධනය, සහාය සේවා පද්ධතිය, ආරක්ෂාව, සමාජ රැකවරණය සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රජා දැනුම්වත් කිරීම යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර තිබේ.

මේ හා සම්බන්ධව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව 2016 ඔක්තෝබර්දා 18 අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS