ලේ ගන්න කතාව ඇත්තක් ද?
by පැරකුම් ජයසිංහ
මැයි 8, 2017

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබුණු කටකතාවක් වන්නේ යම් සංවිධානයකට සම්බන්ධ පිරිස් නිවෙස්වලට පැමිණ රුධිරය පරීක්ෂා කිරීමේ මුවාවෙන් එන්නත් කටු මගින් එච්.අයි.වී. පතුරවා හරිමින් සිටින බවයි.  එය අසත්‍ය ප්‍ර‍චාරයක් බව ද වගකීමකින් මාධ්‍ය භාවිතා කරන පිරිස් විසින් පෙන්වා දෙන ලදී.

මෙවැනි පදනම් විරහිත අසත්‍ය ප්‍ර‍චාර සමාජ මාධ්‍ය හරහා පැතිර යාම ශ්‍රී ලංකාවේ ද සුලබ ය. පසුගිය අවුරුදු සමයේ පතුරුවා හරින ලද කටකතාවකින් කියැවුණේ එක්තරා ජනවර්ගයක සාමාජිකයන්ට අයත් රෙදි කඩවල අලෙවියට තබා තිබෙන කාන්තා යට ඇඳුම්වලට ගල්වා තිබෙන ඖෂධයක් හේතුවෙන් කාන්තාවන් වඳභාවයට පත් වන බවයි.

මෙවැනි ප්‍ර‍චාර ඇතැම් විට දෙවන මට්ටමේ හා තුන්වන මට්ටමේ ප්‍ර‍තිචාරවලට ද හේතු වෙයි. මෙය උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. දැනට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ ඇතැම් පෙදෙස්වල ග්‍රීස් යකුන් ලෙස හැඳින්වුණු, කාන්තාවන්ට හිරිහැර කරන බව කියන අද්භූත පිරිමින් පිළිබඳ කටකතා පැතිර ගිය අයුර ඔබට මතක ද? ඒ සමග ම සමාජ මනසෙහි ග්‍රීස් යකා පිළිබඳ භීෂණයක් ස්ථාපිත විය. සමාජය බියකින් යුක්ත අවදියකින් සිටි අතර, ග්‍රීස් යකුන් ලෙස සැක කරන ලද මිනිසුන්ට පහර දීම ද ඒ සමග ම ආරම්භ විය. එය දෙවන අදියරයි.

ග්‍රීස් යකාගේ සිද්ධිය තුන්වන අදියරට ද ගියේ ය. එහිදී ග්‍රීස් යකුන් යයි සැක කරන ලද මිනිසුන් පහර දී අමානුෂික ලෙස මරා දමන ලද අතර, උතුරු නැගෙනහිර පෙදෙස්වල ජනයා හමුදා කඳවුරු වට කර ග්‍රීස් යකුන් එහි සඟවාගෙන සිටින බව කියා උද්ඝෝෂණ ද කළ හ.

ලේ පරීක්ෂා කරන මුවාවෙන් එච්.අයි.වී. පතුරුවනු ලබන බවට වන කටකතාව ද දැන් දෙවන අදියරට පිවිස ඇත. අද දින පුවත්පත් ගණනාවක හා රූපවාහිනීවල විකාශ වූ පුවත් සමග මේ කට කතාව නිසා ඉදිරි කාලයේදී භයානක ප්‍ර‍තිඵල ඇති විය හැකි ය.

මෙම මාධ්‍ය වාර්තා දෙක අධ්‍යයනය කරන්න. මේවා ප්‍ර‍තික්ෂේප කිරීමට තරම් අපට සාධක නැති මුත්, මෙම වාර්තා පිළි ගැනීමට තරම් ඒ වාර්තා ගවේශනාත්මක ද නැත. නිදසුනක් ලෙස, අප මෙහි සම්බන්ධ කරන වාර්තා දෙක අධ්‍යයනය කර බලන්න.

දිවයින පුවත්පතේ වාර්තාව මෙතැනින්

හිරු රූපවාහිනියේ වාර්තාව මෙතැනින්

මෙම වාර්තා දෙකෙහි අඩුපාඩු රැසක් තිබේ. ඒවා තනිකර ම පදනම් වන්නේ එම සිදුවීමට භාජනය වූ බව කියන බාල වයස්කාර සිසුවාගේ සහ එම දරුවාගේ පියාගේ ප්‍ර‍කාශ මත ය.

සිසුන් රාශියක් ඉගෙන ගන්නා, ගුරුවරුන් රැසක් උගන්වන, මව්පියන් නිතර ගැවසෙන පාසලකදී මෙවැනි සිදුවීමක් සිදු වන විට එය ඇසින් දුටු තවත් අය සිටිය යුතු ය. මෙම මාධ්‍ය එවැනි අය සොයා ගවේෂනයක් කර නැත.  එසේ ගවේශනය කළා නම්, සාක්ෂිකරුවන් හමු වුණේ නැතිනම්, ඒ බව සඳහන් කළ යුතු ය. එහෙත්, මෙහි එවැනි සඳහනක් නැත.

සිසුවාගේ ප්‍ර‍කාශය පිළිබඳ වෛද්‍ය සහ මනෝ වෛද්‍ය මතයක් පිළිබඳ කිසිදු විමසීමක් හෝ කර නැත.

පොලිසියේ වගකිව යුතු නිලධාරියකුගෙන් මේ ගැන විමසා අදහසක් ඉදිරිපත් කර නැත.

මෙම සිදුවීම පිළිබඳ අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් විමසීමට හෝ මෙම මාධ්‍යකරුවා කටයුතු කර නැත. ඒ වෙනුවට විදුහල්පතිවරයා ඒ ගැන නොදත් බව තමන්ට කියූ බවට පියා කරන ප්‍ර‍කාශයක් ගැන රූපවාහිනී ප්‍ර‍වෘත්තියෙහි සඳහන් වේ.  එහෙත් ප්‍ර‍වෘත්තිය සමග යන අකුරු පෙළෙහි දැක්වෙන්නේ “විදුහල්පති දැනුවත් නැහැලු” යනුවෙනි.  එමගින් විදුහල්පතිවරයා පිළිබඳ ඇති කරන්නේ ද නරක ආකල්පයකි.

මේ වන විට මෙම පුවත ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍යවලින් විකාශය කර තිබෙන අතර සමාජ මාධ්‍යවල පැතිරුණු කටකතාව තහවුරු කිරීම සඳහා සාධාක සැපයීමක් එමගින් සිදු වී ඇත.

මෙහි ඊළඟ ප්‍ර‍තිඵලය විය හැක්කේ කුමක් ද?

මැලේරියා හා බරවා රෝග මේ වන විට ශ්‍රී ලංකාවෙන් තුරන් කර ඇතත්, එම තත්වය පවත්වාගෙන යාමට නම් නිරන්තර අවධානය හා පරීක්ෂාව අවශ්‍ය ය. බරවා සඳහා රුධිරය ලබා ගත යුත්තේ රාත්‍රී කාලයේ ය. එයට හේතුව වන්නේ බරවා රෝගය ඇති කරන පරපෝෂිතයන් පර්යන්ත රුධිරයට ඇතුළු වන්නේ එම කාලය තුළදී නිසා ය.  බරවා සඳහා රුධිර පටල ලබා ගන්නා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් නිසි පරිදි නිල ඇඳුම් ඇඳ, හැඳුනුම්පත් සහිතව, කලින් දැනුම් දී පැමිණෙනමුත්, මෙවැනි වාතාවරණයක් තුළ ඔවුන්ගේ ජීවිත අවදානමට පාත්‍ර‍ විය හැකි ය.‍

එපමණක් නොව, ඇතැම් වෛද්‍යායතන විසින් ප්‍ර‍වර්ධනය සඳහා ගෙන් ගෙට එවන අලෙවි නිලධාරීන්ට පවා මේ නිසා අනතුරු සිදු විය හැකි ය.

මේ පසුපස තිබුණු තවත් භයානක මිථ්‍යාවක් වන්නේ එච්.අයි.වී. සඳහා රුධිරය පරීක්ෂා කිරීමට නිලධාරීන් නිවෙස්වලට එන බවයි. කිසිදු පුද්ගලයකුගේ රුධිරය බලහත්කාරයෙන් ලබාගෙන එච්.අයි.වී. සඳහා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් කරන්නේ නැත. එසේම, ගෙන් ගෙට ගොස් එච්.අයි.වී. සඳහා රුධිරය පරීක්ෂා කිරීමක් සිදු වන්නේ ද නැත.

මාධ්‍යවල වගකීම් විරහිත හැසිරීම සමාජයට අහිතකර ලෙස බල පෑ හැකි බව මාධ්‍යකරුවන් මෙන් ම මාධ්‍ය කළමනාකරුවන් ද අවබෝධ කර ගත යුතු ය.

මෙම වගකීම් විරහිත වාර්තාකරණයත් සමග ඉදිරියේදී ඇති විය හැකි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට දැනුවත් වන්න.  සෙසු අයත් දැනුවත් කරන්න.

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS