youth
සිසුවියක අපයෝජනය කරන ගුරුවරයෙකුට ලැබෙන උපරිම දඬුවම කුමක් ද?
by Kiyanna Staff
අප්‍රේල් 6, 2017

මෙයට වසර නවයකට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියක උපකාරක පන්තියේදී ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වසර 20 ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේය. මෙයට අමතරව රුපියල් දස දහසක දඩයක්‌ද, දඩය නොගෙවන්නේ නම් තවත් සය මසක සිරදඬුවම් ද නියම කෙරිණි.

ගුරුවරුන් මෙවැනි වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලබන අවස්ථා පිළිබඳ මාධ්‍ය මගින් ඉඳහිට වාර්තා වේ.  නිරතුරුව ළමයින් ඇසුරෙහි වෘත්තීය කටයුතු කරන ගුරුවරුන් මෙවැනි වැරදිවලට පැටලීමට හේතු මොනවා ද?

එක පැත්තකින් එය ගුරුවරුන්ගේ ශික්ෂණය පිළිබඳ ගැටලුවකි.  හැඟීම් පාලනය කර ගැනීම ගුරුවරුන්ගේ පමණක් නො ව, සමස්ත ශිෂ්ට සමාජයේ ම වගකීමකි.

අනෙක් පැත්තෙන්, නීති නො දැන සිටීම ද මෙවැනි වැරදි කිරීමට පුද්ගලයන් පෙළඹීමට තවත් හේතුවකි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 දරන සංශෝධන පනත අනුව ලිංගික හිංසනයක වරදකරුට බරපතල වැඩ සහිතව වසර හතක අවම සිර දඬුවමක් හා දඩයක් ද නියම වන්නට පුළුවන්. මෙම දඬුවමේ උපරිමය අවුරුදු 20ක් විය හැකි ය.

අකුරැස්සේ පාසල් ගුරුවරයාට උපරිම දඬුවම් ලබා දීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර තිබේ.

සමීපතම ඥාතීන් අතින් සිදු වන ලිංගික හිංසන වැරදි සඳහා අවම දඬුවම බරපතල වැඩ සහිතව අවුරුදු 10කි.

එහිදී දූෂණයේ වින්දිතයා වයස අවුරුදු 16ට අඩු නම්, අවම දඬුවම බරපතල වැඩ සහිතව අවුරුදු 15කි.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්තා අනුව වසරකට ළමා අපචාර පිළිබඳ පැමිණිලි 10,000කට වඩා වාර්තා වේ.

2015 වසරේ ලැබුණු පැමිණිලි 10,732ක් අතරින්,  735ක් ලිංගික හිංසන වේ. ඒ අතරින් 433ක් දූෂණ වන අතර, 365ක් දරුණු ගණයේ ලිංගික අපචාර වේ.

2015 වසරේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සංඛ්‍යාලේඛන අනුව, ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 12 සිට 17 අතර වන ගැහැනු ළමයි 20,780 කට වැඩි සංඛ්‍යාවක් එක්කෝ විවාහක ව හෝ නැතිනම් අඹු-සැමියන් ලෙස හෝ ජීවත් වන තත්වයට පත් වී සිටිති. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත අනුව, සෑම වසරක ම ලියාපදිංචි වන ගර්භනීන්ගෙන් 5.3%ක් අවුරුදු 20ට අඩු යෞවනියෝ වෙති.

මෙම සංදර්භය තුළ, ශී‍්‍ර ලංකාවේ ගැහැනු ළමුන් විශාල පිරිසකට ඔවුන්ගේ ළමා කාලය ප‍්‍රීතිමත් ලෙස ගත කිරීමේ සහ ජීවන විභවයන් පූර්ණ ලෙස සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල පෙන්වා දෙයි.

COMMENTS ()

Kiyanna Staff
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS