youth
බිග් මැච් ට්‍ර‍කිං හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය
by පැරකුම් ජයසිංහ
මාර්තු 23, 2017

බිග් මැච් සතුට මැද කොළඹ යශෝධරා බාලිකා විද්‍යාලයට කඩා වැදුණු මහානාම විද්‍යාලයේ සිසුන් 50ක පමණ පිරිසක් විසින් කරන ලද කලබැගෑනියක් හේතුවෙන් පාසලේ සිසුවියන් බියට පත් වනවාට අමතරව, ගුරුවරුන්ට හා දේපලවලට ද හානි සිදු වී තිබේ.

මේ හා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සිසුවකු මේ වන විට පරිවාස භාරයට පත් කර තිබේ.

මෙම සිසුන් විසින් සිදු කර තිබෙන්නේ පොදු දේපලවලට හානි කිරීමේ වරදක් නිසා ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය හැකි ය. මෙවැනි වැරදිවලට අධිකරණයෙන් ඇප ලබා ගැනීම පවා දුෂ්කර ය.

පාසල් සිසුන් පොදු දේපලවලට හානි කිරීම ශ්‍රී ලංකාවේ තරමක් සුලබ සිදුවීමක් වන අතර ඔවුන් ඒ පිළිබඳ දැනුවත් කිරීම මෙන් ම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ද තත්වය පාලනය කිරීමට අත්‍යවශ්‍ය ය.

එයට අමතරව, මෙම සිදුවීම් පැහැදිලිව ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයකි. මෙහිදී හැම විට ම පාහේ සිදු වන්නේ පිරිමි පාසල් සිසුන් බාලිකා පාසල්වලට කඩා වැදී අවිනීත ක්‍රියාවල යෙදීමයි.

මෙයට ඇතැම් සිසුවියන්ගේ පැත්තෙන් පෙළඹවීමක් තිබෙන බව එම ක්‍රියාවල යෙදෙන සිසුන් සිතන බවක් මේ පිළිබඳ ෆේස්බුක්හි පළ වී තිබූ පහත දැක්වෙන අදහසින් සිතා ගත හැකි ය.

ට්‍රකින් යන එක ගැන මේ‍රටේ බහුතරයක් දෙනා බලන්නෙ මහ කුප්ප ඇහැකින්. හරියට මිනී මරල එනගමං කෙල්ලන්ගෙ ඉස්කෝලෙකට පනින්නෙ රේප් කරල යන්න කියල හිතං ඉන්නෙ මේ රටේ උං.  නෑ! කොල්ලො ගිහින් පැනල හුරේ පා‍රක් දාල ස්පෙල් එකක් දාල එන්න යන්නෙ තමන්ගෙ අක්ක නංගි ඉන්න ඉස්කෝලෙටම තමයි. කොයි වෙලේද අද පැරඩ් එක එන්නේ කියල බලං ඉන්න බව දැනගෙනමයි යන්නෙ.

“මං කීපවතාවක් අහන් ඉදල තියෙනව කලින් දවසෙ නිව්ස්වලට ඔහොම එකක් අහගෙන ඇවිල්ල පහුවදා වැඩට යන ගමන් කෝච්චියෙ පම්පෝරි ගහන ඔපීස් පප්පලගෙ කියුන්. හිනා යනව බං. එකපාරක් උඹලගෙ සෙට් එකක් spm පනින්න ගිහින්, පොඩි ගෲප් එකක්, සික්ක අත පය විසිකරගෙන ගිහිල්ල කොල්ලන්ට. ටීචර්ස්ලත් පැත්තක ඉඳන් බලං ඉදල ඔහේ නිකන්. කොල්ලො සෙට් වෙලා සික්කට නෙලන්න. ඊටපස්සෙ අපේ අම්ම එතනින් ඇවිල්ල ඒක දැකල ගිහින් කතා කරල සික්කව බේරලා, පුතාලා මෙහෙමයි කියල කතන්ද‍රේ කියලා, මෙතන අයට ඕවා තේරෙන්නෙ නෑ ශේප් එකේ ස්පෙල් කරනව නම් කරල යන්න කියල. උන් ශේපට කිසිදෙයකට හානි නොකර ගන්න ආතල් එක අරන් ගිහින්.“

මෙම ක්‍රියාවලිය සමග යෙදෙන නව පරපුරේ අලුත් වචන වන ට්‍ර‍කිං හා ස්පෙල් වැනි යෙදුම් ද වැදගත් ය.  ඒවා එම වචනවල ශබ්දකෝෂ තේරුම්වලට වඩා වෙනස් අරුත්වලින් භාවිතා වන බව පෙනේ.

ඉහත සටහන තැබූ තරුණ මාධ්‍යකරුවා විසින් ද මෙහි තිබෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය අමතක කර ඇති බව පැහැදිලි ය.

යොවුන් වියේ නිදහස හා සතුට වෙනුවෙන් අවස්ථාව දිය යුතු ය. පාසල් අතර මහා ක්‍රිකට් තරග, ක්‍රීඩෝත්සව ආදිය ඒ සඳහා අවස්ථාව ලබා දෙන බැවින් ඒවාට වැට නො බැඳිය යුතු ය. එහෙත් මෙවැනි සිදුවීම් හුදු යොවුන් වියේ දඟකාරකම් ලෙස සරළ ලෙස නො සලකා හැරිය නො යුතු ය.

ඔබ අත ඇති සැරයටිය වනමින් යාමට ඔබට තිබෙන නිදහස අනෙකාගේ නැහැ තුඩ අසලින් අවසන් වන බව පාසල් සිසු අවධියේ සිට ම වටහා ගත යුතු ය.

එසේම, රංචුගැසීම තුළ ඇති වන රංචු මානසිකත්වය පිළිබඳ අවබෝධයක් ද සිසුන්ට ලබා දිය යුතු ය. රංචු මානසිකත්වය මැද එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඔවුන්ට සිහිපත් වන්නට එය ඉවහල් වනු ඇත.

කිසිවෙකුට අනවශ්‍ය කරදර ඇති නො වීම නිදහස භුක්ති විඳීමෙහිදී ද සතුට ලැබීමෙහිදී ද වැදගත් ය.

තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන චමීර ජීවන්ත දෙද්දුවගේ විසින් පළ කරන ලද පහත සඳහන් අදහස වැදගත් වන්නේ මෙම සංදර්භය තුළ ය.

“මම ‘ට්‍රකිං කල්චර්’ එකට නැත්තෙමි… ඒ වෙන කිසිම හේතුවක් නිසා නොව, ‘අහිංසක ආක්‍රමණ’, ‘සොඳුරු දඟකාරකම්’ යැයි කියන ඒවා අන්තිමේදී ගුටි කෙළගෙන, අතපය කඩාගෙන, ළමයෙකු දෙන්නෙකු පාසැල් ගමන අතරමග නවතාගෙන අවසාන වන හැටි ඕනෑතරම් දැක ඇති බැවිනි…. එන්ජෝයි නොකරන්නවුන්ට කරදර නොකර ඕනෑ අලබෝලයක් කරගත්තාට අපට කමක් නැත….

“ප්‍රශ්නය වන්නේ තමන්ගේ ආතල් එක අනුන්ගේ මූණේ උලන්නට යාම ය…. ඒකත් හරියටම සිගරට් බොන එකා තමන්ගේ බීමෙන් නොනැවතී තමාගේ සිගරැට්ටුව අනිකාගේ කටේ ඔබන්නට යාම වැනි ය…. ඒවා ගුටිකන වැරදි ය….”

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS