අලුත්ගම වැරදි එච්.අයි.වී. වාර්තාකරණය හා කුලියාපිටියෙන් ගනේමුල්ලට
by පැරකුම් ජයසිංහ
මාර්තු 21, 2017

එච්.අයි.වී. ආසාදිත යයි සැකයට භාජනය වීම නිසා ගම්වාසීන් විසින් කුලියාපිටියේ දරුවකුට පාසල් අධ්‍යාපනයට ඉඩ ලබා නො දීමේ සිද්ධියට යන්තමින් අවුරුද්දක් ගත වන විට ඒ හා සමාන ම සිදුවීමක් ගනේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

එම සිද්ධියේදී ද එච්.අයි.වී. ආසාදිත යයි සැකයට භාජනය වූ දැරියක පාසලට පැමිණීම ගම්වාසීන්, මව්පියන් හා අධ්‍යාපන බලධාරින් විසින් ප්‍ර‍චණ්ඩ අයුරින් වළක්වා තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතැනින් නැරඹිය හැකි ය.

එච්.අයි.වී. ආසාදනයක් යනු මාරාන්තික රෝගයක් නො වන බව ද, එච්.අයි.වී. සමග ජීවත් වන පුද්ගලයන් නිසි ප්‍ර‍තිකාර ලබා ගන්නේ නම් ඔවුන්ට දිගු කලක් ජීවත් විය හැකි බව ද, එච්.අයි.වී. ප්‍ර‍ධාන වශයෙන් ම ආසාදනය වන්නේ ලිංගික එක්වීම්වලින් බව ද, එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් සමග ගැවසීමෙන් එම රෝගය බෝ නො වන බව ද, එච්.අයි.වී. ආසාදිතයන් ද සෙසු රෝගීන් මෙන් ම මානව හිමිකම් ඇති අය බව ද කෙතරම් දැනුවත් කළත්, මෙවැනි පසුගාමී සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වන්නේ ඇයි?

එයට හේතුව වන්නේ යහපත් සන්නිවේදනයන් සිදු කිරීමට දායක වන මාධ්‍ය ම, වැඩි අලෙවියක් ඇති ප්‍ර‍වෘත්ති වැනි විකාශනයන්හිදී වැරදි වාර්තාකරණයන්හි යෙදීමයි. පහත දැක්වෙන්නේ ආසන්න ම නිදසුනකි.

අලුත්ගම ප්‍රදේශයේ පාසලක සිසුන් වන වයස අවුරුදු 14, 16 වියේ ළමුන් දෙදෙනෙකු එච්.අයි.වී. ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු පොලිස් භාරයට ගෙන රෝහල්ගත කර ඇති බව මාර්තු 13 දින පුවත්පත්වල වාර්තා විය.

එච්.අයි.වී. ආසාදනය වීම් ගැන හා ඒඩ්ස් ගැන වාර්තා කිරීමේදී රෝගීන්ගේ මානව හිමිකම් ගැන සැලකිලිමත් වන ලෙස හා සමාජය වෙත වැරදි අදහස් සන්නිවේදනය නො වන ලෙස එම වාර්තාකරණය කරන ලෙස කෙතරම් මාධ්‍ය දැනුවත් කළත්, මාධ්‍ය විසින් කටයුතු කරන්නේ සුපුරුදු අමනෝඥ ස්වභාවයෙන් වීම කණගාටුදායක ය.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ විසින් පෙන්වා දෙන ලද පරිදි මෙම දරුවන් අපචාරයක ගොදුරු වී තිබෙන මුත් ඔවුහු එච්.අයි.වී. ආසාදිතයෝ නො වෙති.  ඒ පිළිබඳ මාධ්‍ය වාර්තාවක් මෙතැනින් කියවිය හැකි ය.

කරුණු තහවුරු කර නො ගෙන කරන වාර්තාකරණය හේතුවෙන් මෙම දරුවන්ගේ ළමා හිමිකම් පමණක් නො ව, මූලික මානව හිමිකම් ද උල්ලංඝනය වී තිබේ.

කෙසේ වෙතත්, ඔවුන් අපහරණය කළ බව කියන සැකකරු එච්.අයි.වී. ආසාදිතයකු බව තහවුරු වී ඇති බව ද වෛද්‍ය ලියනගේ පැවසූ බව ද පුවත්පත් වාර්තා කළේ ය.

එම වාර්තාකරණය නිවැරදි නම් මෙම ළමුන් දෙදෙනා  ලිංගික අපරාධයක වින්දිතයන් ලෙස සැලකිය හැකි ය. ලංකාවේ දණ්ඩ නීති සංග්‍ර‍හයේ 1995 අංක 22 දරන සංශෝධන පනත අනුව, වයස අවුරුදු 16ට අඩු ළමයකු සමග කැමැත්තෙන් වුව ලිංගිකව එක් වීම ව්‍යවස්ථාපිත දූෂණයක් ලෙස සැලකේ.

අදාළ සැකකරුට එරෙහිව එල්ල කරනු ලැබුවේ එතරම් බරපතල චෝදනාවක් නම් එම පුද්ගලයා දින කිහිපයකට පසුව ඇප පිට නිදහස්ව පැමිණියේ කෙසේ ද? ඒ පිළිබඳ වාර්තාව මෙතනින් කියවන්න.

මෙම සිද්ධිය වාර්තා කළ පුවත්පත්වල සඳහන් ආකාරයට එක් සිසුවෙකුගේ මවත්, පියාත් දෙදෙනා ම විදේශගතව සිටින අතර ඔහු හදා වඩා ගනු ලබන්නේ මිත්තනිය විසිනි.

අලුත්ගම ප්‍රදේශය සංචාරක කර්මාන්තය මුල් බැස ගත් ප්‍රදේශයකි. සංචාරකයන්ට මගපෙන්වීමෙන් ජීවිකාව සරි කර ගන්නා තරුණ පිරිසක් වන බීච් බෝයිස් ලෙස හැඳින්වෙන ප්‍ර‍ජාව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය විසින් එච්.අයි.වී. ආසාදනයට ගොදුරු විය හැකි අධි අවදානම් පිරිසක් ලෙස හඳුනාගෙන තිබේ.  එසේම, සංක්‍රාන්ති ලිංගිකයන් ද තවත් අධි අවදානම් ප්‍ර‍ජාවකි.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ලිංගික සේවා සම්පාදනය ඉතා සුලබ ය. ඒ අතර පිරිමි හා ගැහැනු ළමයින් විදෙස් සංචාරකයන්ට ලිංගික සේවා සැපයීම සඳහා අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් ද ක්‍රියාත්මක වේ. මෙම සිසුන් දෙදෙනා එම ජාවාරමේ ගොදුරු දෙකක් විය හැකි ය.

වසර 1986 සිට මේ දක්වා එච්.අයි.වී. සමග ජීවත් වන්නන් 2500කට වඩා හඳුනාගෙන තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස එච්.අයි.වී. සමග ජීවත් වන්නන් 4000කට වඩා ජීවත් වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය විසින් තක්සේරු කර තිබේ.  පසුගිය 2016 වසරේ අලුතින් හඳුනා ගන්නා ලද රෝගීන් 250 අතරින් 190 ක් පිරිමි ආසාදිතයින් වන බවත් 60 ක් කාන්තා ආසාදිතයින් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසුවේය.

එච්.අයි.වී පිළිබඳ වාර්තාකරණය නො කළ යුතු ආකාරයට කදිම නිදසුනක් පසුගිය ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා දැක්විය හැකි ය. කියවන්න:

අලුත්ගම දරුවන් දෙදෙනෙකුට
ඒඩ්ස්‌ හැදුනේ මෙහෙමයි…

විජයසිරි විද්‍යාසේකර

යෞවන යෞවනියන්ගේ නෙත් සිත් පැහැර ගන්නා රූසපුවකින් හෙබි ඇය දෙස එක්‌වරක්‌ බැලූ අය දෙවරක්‌ නොව තුන් වරක්‌වත් නෙත් සිත් යොමු කරන්නට අමතක නොකළේ ඇයගේ රූසපුව නිසාය.

ඉකුත් වසරේ ඇයගේ අත ගත්තේ රූමත් කාන්තාවකගේ ගති ලක්‍ෂණ නාරිදේහ විලාශයකින් හෙබි හුරුබුහුටි තරුණයෙකි. මේ තරුණයා රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය අතර මනාලියන් හැඩගැන්වීම ඔහුගේ ප්‍රමුඛ රාජකාරිය විය.

මේ අතර ඔහුගේ රූමත් බිරිඳ ගැබිනියක්‌ බවට පත්වූ අතර ………………

සම්පූර්ණ විශේෂාංග ලිපිය මෙතැනින්

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS