women
ලෝක ගුරු දිනයේදී ගුරු අධ්‍යාපනය ගැන සිතමු
by admin
ඔක්තෝබර් 6, 2015

ඔක්තෝබර් 05 ලෝක ගුරු දිනයයි. ඔක්තෝබර් 06දා ගුරු දිනය සමරන ශ්‍රී ලංකාවේ පාසල් සිසු සිසුවියෝ වැඩිදෙනෙක් අද ලෝක ගුරු දිනය සමරා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙති. මේ වන විට ලෝක ගුරු දිනයත් යම් ආකාරයකට වානිජකරණය වී ඇති ආකාරය දැකිය හැකි ය. සැප්තැම්බර් මාසයේ අග සති කීපයේදී එක්තරා කුඩ නිෂ්පාදකයෙක් පුවත්පත්වල දැන්වීම් පළ කළේ ගුරු දිනයට ගුරුවරයාට, ගුරුවරියට තෑගි දිය හැකි කුඩයක් ගැනයි. 

2012 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගණන වාර්තා අනුව ලංකාවේ රජයේ පාසල් දසදහසකට ආසන්න සංඛ්‍යාවක 40 ලක්ෂයකට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උගනිති. ඔවුන්ට ඉගැන්වීමට සිටින ගුරුවරුන් සංඛ්‍යාව 220,000කට ආසන්න ය. පළාත් සභාවන්ට අයත් පාසල්වල ගුරුවරු 184,828ක් ද, ජාතික පාසල්වල ගුරුවරු 34,960ක් ද ඉගැන්වීමේ යෙදෙන බව 2012 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ගුරු වෘත්තිය කාන්තා බහුතරයක් සහිත සේවාවන් අතරින් එකක්. 

ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 58%ක් පුහුණු ගුරුවරු වෙති. ඔවුහු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයකින් ලබා ගත් තුන් අවුරුදු ඩිප්ලෝමාවක් හෝ ගුරු විද්‍යාලයක වසර දෙකක් ඉගෙනීමෙන් පසු ලබා ගත් සහතිකයක් හෝ හිමි වෘත්තීය සුදුසුකම් සහිත අය වෙති. 

රජයේ පාසල්වල ගුරුවරුන්ගෙන් 23%ක් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහිත වෘත්තීය පුහුණුවක් ඇති ගුරුවරු වෙති. 

වෘත්තීය පුහුණුවක් නො ලද උපාධිධාරී ගුරුවරුන්ගේ ප්‍ර‍තිශතය 14%කි. 

නො පුහුණු ගුරුවරුන් සංඛ්‍යාව 5%කි. 

සමස්තයක් ලෙස 19%ක් ගුරුවරු එක්කෝ වෘත්තීය පුහුණුවක් ලබා නැත. නැතිනම් එවැනි පුහුණුවක් ලබමින් සිටිති. ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය යනු අතිශය වැදගත් ක්ෂේත්‍ර‍යකි. 

ශ්‍රී ලංකාවේ වැඩි ම ගුරු පිරිසක් සේවය කරන්නේ බස්නාහිර පළාතේ ය. එම සංඛ්‍යාව 41,351ක් වන අතර ඒ අතර සිටින නුපුහුණු ගුරු සංඛ්‍යාව 495ක් පමණි.

එහෙත්, 2012 සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ දෙවෙනියට වැඩි ම ගුරු පිරිසක් සේවය කරන මධ්‍යම පළාත රටේ වැඩි ම නුපුහුණු ගුරු පිරිසක් සේවය කරන පළාතයි. එම පළාතේ ගුරු සංඛ්‍යාව 30,984ක් වන අතර නුපුහුණු ගුරුවරු 2380ක් සිටිති. 

මධ්‍යම පළාතේ පවතින මෙම තත්වයට හේතුව වතුකරයේ පාසල්වල ගුරුවරුන්ගේ පුහුණුව පිළිබඳ ගැටලුව බව පෙනේ.

ඌව පළාතේ ද නුපුහුණු ගුරුවරුන් සංඛ්‍යාව සමස්ත ගුරුවරුන්ගෙන් 10%කට ආසන්න ය. එයට ද හේතුව වතු පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ පුහුණුව පිළිබඳ ගැටලුව බව පෙනේ. 

දුෂ්කර පාසල් රාශියක් පිහිටා තිබෙන උතුරුමැද පළාතේ ද ගුරුවරුන්ගෙන් 10%ක් පමණ නුපුහුණු අයයි. මෙම පළාත්වල විශාල ගුරු හිඟයක් ද ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙයි. විශේෂයෙන් ම විද්‍යා, ගණිත, ඉංග්‍රීසි විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන්ගේ හිඟයක් තිබේ. 

ගුරු හිඟයක් පවතින ප්‍රදේශ වෙනුවෙන් ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාමාර්ගවල තිබෙන අවිධිමත්කම් ද මෙයට හේතුව බව පෙන්වා දෙන ජෝසප් ස්ටාලින් මහතා ගුරු සහායකයන් ලෙස බඳවා ගන්නා ලද උසස් පෙළ සමත් ගුරුවරුන් වසර ගණනාවක් ම පුහුණුවක් හෝ රැකියා ස්ථිරත්වයක් නොමැතිව අඩු වැටුපකට සේවය කරන බව ඔහු පෙන්වා දුන්නේ ය. “ගුරුවරුන් පුහුණු කිරීම වගේ ම, පුහුණු ගුරුවරුන් වෘත්තීය වශයෙන් යාවත්කාලීන කිරීම ද වැදගත්. ප්‍ර‍ති පුහුණුව සහ සේවාස්ථ පුහුණු සැසි ගුණාත්මක වශයෙන් දියුණු විය යුතුයි. ගුරු අධ්‍යාපනයේ ගැටලු රැසක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 17ක් තිබෙනවා. තවත් දෙකක් අලුතින් ආරම්භ කිරීමට නියමිතයි. ඒත්, තිබෙන විද්‍යා පීඨවල පහසුකම් ප්‍ර‍මාණවත් නැහැ. ඒවා වැඩිදියුණු කළ යුතුයි,” යි ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේ ය.

දුෂ්කර ප්‍රදේශවල පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් තිබියදී වසර 2012දී 342ක් වූ ජාතික පාසල් බහුතරයක ගුරු අතිරික්ත තිබෙන බව වාර්තා වේ.  ගුරුවරුන් පාසල් අතර නිසි ලෙස තුලනය නො කිරීම නිසා ගුරුවරුන් විශාල පිරිසකගෙන් නිසි සේවයක් ලබා ගැනීමේ හැකියාවට බාධා සිදු වේ. 

මහාචාර්ය ඩබ්. ජී. කුලරත්න මහතා රාවය පුවත්පතට සම්පාදනය කරන ලද ලිපියක මෙසේ සඳහන් වේ. “දියුණු රටවල අධ්‍යාපනය පිළිබඳ අප කළ නිරික්ෂණයන් මගින් පෙනී ගියේ. එම රට වල පළමු ශ්‍රේණිය සිටම ළමයින් ඉගෙනගන්නා බවය. එහෙත් අපේ රටේ පළමුවන ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලය දක්වා ළමයින්ට උගන්වයි. මෙම තත්ත්වයේ මූලික වෙනසක් අවශ්‍ය වී තිබේ. කුඩා කල සිට ඉගෙනීමට ඉගෙනීම නැමැති සංකල්පය අනුව ක‍්‍රියා කළ යුතුය. ළමයෙක් තමන්ට ඉගෙනීමට හැකි යැයි සිතූවිට ඔහුගේ ඉගෙනීම කාටවත් නතර කළ නොහැක. මේ සඳහා ගුරු පුහුණුව වෙනස් කළ යුතුය. ගුරුවරයාගේ කාර්ය ඉගැන්වීම නොව ඉගෙනීමට සුදුසු පරිසරයක් ගොඩනැගීම බව මෙහිදී පෙන්වා දිය යුතුය. කුඩා කළ සිට ස්වයං අධ්‍යයනයට හුරුකිරීමෙන් මෙම පරිවර්තනය ඇති කළ හැකිය.”

COMMENTS ()

admin
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS