women
ශ්‍රී ලංකාවේ ශ්‍ර‍ම බලකායේ ලක්ෂණ
by පැරකුම් ජයසිංහ
දෙසැම්බර් 20, 2016

ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය පවතින්නේ 4.2%ක මට්ටමේයි (2012). මෙම රැකියා වියුක්ති අනුපාතිකය ගණනය කිරීමේදී සාමාන්‍යයෙන් සලකා බලන්නේ රැකියා කළ හැකි, රැකියා කිරීමට කැමති, රැකියා සඳහා සූදානම් ජනයා අතරින් කෙතරම් ප්‍ර‍තිශතයක් රැකියාවල නියුතු වන්නේ නැති ද යන කාරණයයි.

එහෙත් සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 45%ක් පමණක් බව ආචාර්ය නිශා අරුණතිලක විසින්  2012 සංගණන දත්ත පාදක කර ගනිමින් සම්පාදනය කර තිබෙන Labour Market Characteristics නම් තේමාත්මක වාර්තාවේ දැක්වේ.

කාන්තා ජනගහණය සලකා බැලුවහොත් 65%ක් ම රැකියාවල නිරත වන්නේ නැත. 2006 සහ 2016 අතර දස වසර තුළදී ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වන කාන්තා ජනගහණයේ ප්‍ර‍තිශතය 5%කින් පහත වැටී තිබේ.

රටේ වැඩි ම විරැකියා අනුපාතිකයක් ඇත්තේ උතුරු, නැගෙනහිර හා දකුණු පළාත්වල ය.

අධ්‍යාපනය හා රැකියා නියුක්තිය අතර සමීප සම්බන්ධයක් තිබේ. ද්විතීයක හා තෘතීයක අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති කාන්තාවන්ට රැකියාවල නියුක්ත වීමේ වැඩි අවස්ථාවක් තිබෙන බව වාර්තාවේ දැක්වේ.

එහෙත්, 2012 ජන හා නිවාස සංගණන දත්ත අනුව පෙනී යන කාරණයක් වන්නේ උසස් අධ්‍යාපන සුදුසුකම් ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 13%කට පමනක් බවයි.  පශ්චාත් උපාධි සුදුසුකම් තිබෙන ප්‍ර‍තිශතය 1%ටත් අඩු ය.

“වැඩි වශයෙන් විෂමතා දකින්නට ලැබෙන්නේ පහළ අධ්‍යාපනික සුදුසුකම් තිබෙන කාන්තාවන් අතරයි.  දරුවන් රැක බලා ගැනීම වැනි පවුල් වගකීම් වැඩි කාන්තාවන්, වැඩ වැඩි, වැටුප් අඩු, රැකියා සුරක්ෂිතභාවය අඩු රැකියා වෙත ආකර්ශනය වෙන්නේ නැහැ,” යි ආචාර්ය අරුණතිලක 2016 දෙසැම්බර් 9දා  කොළඹදී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ අනුග්‍ර‍හයෙන් පැවැත්වුණු පරම්පරාන්තර සංවායේදී  පෙන්වා දුන්නා ය.

කාන්තාවන් ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වීම වැඩි කිරීමෙන් සමස්ත රැකියා නියුක්තියේ ද ඉහළ යාමක් සිදු වන බව පැහැදිලි ය.

එහෙත්, ඉහත සංවාදයේදී ආචාර්ය මුතුක්‍රිෂ්ණ සර්වනාදන් විසින් පෙන්වා දෙන ලද කාරණයක් වන්නේ සැමියාගේ ආදායම පවුලේ නඩත්තුවට ප්‍ර‍මාණවත් නිසා ද කාන්තාවන් රැකියාවල නො යෙදෙන බවයි. “සංස්කෘතික වශයෙන් ගත් කල, ආසියාවේ බොහෝ රටවල මෙන් ම ලංකාවේත් කාන්තාවන් ළමයින් රැක බලා ගැනීමට ප්‍ර‍මුඛතාව ලබා දෙනවා. එසේම, ළමයින් රැක බලා ගැනීමේ සේවාවන්ගේ පවතින අඩුපාඩුවත් කාන්තාවන් ශ්‍ර‍ම බලකාය වෙත පිවිසීම වළක්වනවා.”

මුස්ලිම් විවාහ නීතිය, තේසවලමේ වැනි පුද්ගල නීතිවල විධිවිධාන නිසා කාන්තාවන් දේපල හිමි කර ගැනීමට හා ව්‍යවසායකත්වය වෙත නැඹුරු වීමට බාධා සිදු වන බව ද ආචාර්ය මුතුක්‍රිෂ්ණා පෙන්වා දුන්නේ ය.

රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් 13%ක් ම විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ රැකියා කරති.  එහෙත්, එම ක්ෂේත්‍ර‍වල තාක්ෂණික කුසලතාවන්ගේ අවශ්‍යතාව වේගයෙන් වෙනස් වන බව ජෝන් කීල්ස් සමාගමේ උප සභාපති නාලක උමගිලියගේ අදහසයි.  “තෘතීයක අධ්‍යාපන පද්ධති මේ සඳහා කොයි තරම් හැඩගැසෙන්නට සූදානම් ද කියන එක ප්‍ර‍ශ්නයක්. උදාහරණයක් ලෙස, මුල්‍ය ක්ෂේත්‍රයේ දැනුම දෙගුණ වෙන්නට අවුරුදු 18ක් හා අලෙවි ක්ෂේත්‍රයේ දැනුම දෙගුණ වන්නට අවුරුදු අටක් ගත වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඒ සඳහා ගත වන කාලය අවුරුදු තුනහමාරක් පමණයි. ඒ නිසා එම ක්ෂේත්‍රයේ මානව සම්පත් ගොඩනගා ගැනීම අභියෝගයක්.”

පවුල් අවශ්‍යතා නිසා රැකියාවෙන් ඉවත්ව සිටින කාන්තාවන්ට පසු කලෙක විද්‍යා හා තාක්ෂණ අංශයේ ශ්‍ර‍ම බලකායට යළි එකතු වීමේදී ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වන බව උමගිලිය පවසයි.

ශ්‍ර‍ම බලකායෙන් බැහැර කරනු ලැබ සිටින තවත් පිරිසක් වන්නේ සමස්ත ජනගහණයෙන් 8.7%ක් වන ආබාධ සහිත ජනයායි.  ඔවුන්ගෙන් රැකියාවල නියුක්ත වී සිටින්නේ 29%ක් පමණි.

 

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS