youth
මැතිවරණ හා තරුණ සහභාගිත්වය
by පැරකුම් ජයසිංහ
දෙසැම්බර් 8, 2016

ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය ලැබී 85 වසරක් පිරීම නිමිත්තෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍ර‍කාශයට පත් කරන ලද ‘සර්වජන ඡන්ද බලය 1931-2016 – ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා ශාස්ත්‍රීය ලිපි සංග්‍ර‍හය’ වෙනුවෙන් සපයන ලද ලිපියකි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ තරුණයන් කෙසේ ඡන්ද ප්‍රකාශ කළා ද යන්න සම්බන්ධයෙන් නිල දත්ත නැත. තරුණයන් සම්බන්ධයෙන් පමණක් නොව, වැඩිහිටියන් හෝ කාන්තාවන් සම්බන්ධයෙන් ද එවැනි සංඛ්‍යාලේඛන නැත. පුද්ගලයකු ඡන්ද මධ්‍යස්ථානයකදී කාටත් පොදු ඡන්ද පත්‍රිකාවක රහසිගතව  ඡන්දය සලකුණු කර නිල ඡන්ද පෙට්ටියකට දැමූ පසු එය ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී කිසිදු අනන්‍යතාවක් සලකුණු වී නැති ඡන්දයක් පමණකි. එය ප්‍රකාශ කළේ කවුරුන්දැයි හඳුනා ගන්නට කිසිදු ආකාරයක් නැත. එබැවින් තරුණයන් හෝ වෙනත් ඕනෑ ම වයස් කාණ්ඩයක අය හෝ ඡන්දය ප්‍රකාශ කර තිබෙන ආකාරය ගැන කළ හැකි වන්නේ බාහිර නිරීක්ෂණ පමණි. අවශ්‍ය නම්, ඒ ඒ මැතිවරණ ආසන්නයේදී පවත්වන ලද ජනමත සමීක්ෂණ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කළ හැකි ය. එහෙත්, ඒවා ද අවසානයේදී නියැදි සමීක්ෂණ මත පදනම් වූ අනුමාන පමණි.

තරුණයා යනු කවරෙක් ද?

තරුණයා යනු කුමන වයස් කාණ්ඩයකට අයත් කෙනෙකු ද යන්න ද මතභේදයට තුඩු දී තිබේ. තරුණ විය ආරම්භ වන්නේ හා අවසාන වන්නේ කුමන වයසෙන් ද? ශ්‍රී ලංකාවේ සර්වජන ඡන්ද බලය අනුව තාරුණ්‍යය ආරම්භ වන්නේ වයස අවුරුදු 18න් ය. ජාතික තරුණ සේවා සභාව වයස අවුරුදු 17 හා 35 අතර වයස් කාණ්ඩය තරුණයන් ලෙස සලකයි. එහෙත්, එක්සත් ජාතීන්ගේ නිර්නායක අනුව තරුණයා ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 හා 29 අතර පුද්ගලයෝ ය.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ හා තවත් සංවිධානවල සම අනුග්‍රාහකත්වයෙන් ආරක්ෂක මණ්ඩලය විසින් 2015 දෙසැම්බර් 9 දින අංක 2250 දරණ යෝජනාව සම්මත කර ගන්නා ලදී. එය සාමය හා ආරක්ෂාව සම්බන්ධ කාරණාවලදී තරුණයන්ගේ භූමිකාව පිළිබඳ වන එවැනි පළමු යෝජනාවයි. එහි තරුණයා අර්ථකථනය කර තිබෙන්නේ වයස අවුරුදු 18-29 අතර පුද්ගලයා ලෙසයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව තරුණ අපේක්ෂකයකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18ත් 35ත් අතර පුද්ගලයෙකි.

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මඟින් 1931දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වූ අතර එහිදී ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව වයස අවුරුදු 21 සපිරූ සැමට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි විය. කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ පීටර් කෙනමන් මහතා 1952දී ඡන්දය දීමේ හිමිකම ලබා දිය යුතු වයස අවුරුදු 18 බවට පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ මුත්, එය පරාජය විය. ගතානුගතික දේශපාලන නායකයන් අතර මෙම යෝජනාවට විරෝධයක් තිබිණි.

1959 අංක 11 දරන සංශෝධන පනත මගින් ඡන්ද හිමියකු වීමට අවශ්‍ය වයස් සුදුසුකම වයස අවුරුදු 18 දක්‌වා අඩු කරන ලදී. වයස අවුරුදු 18 සපිරූ සැමට ඡන්ද බලය ලැබුණු පළමු මැතිවරණය වූයේ 1960 මාර්තු මහ මැතිවරණයයි.

මේ වන විට ඡන්ද ප්‍රකාශ කිරීමේ සුදුසුකම සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා අඩු කළ යුතු ද යන කරුණ සංවාදයට භාජනය කිරීම ආරම්භ වී තිබේ. තරුණයන් දේශපාලන වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගෙන ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලබන යොවුන් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විවාදයක් සිදු වී තිබේ.

ප්‍රායෝගික තත්වය හා තරුණයා

2011 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා රැසක් ප්‍රතික්ෂේප වීමට හේතු වුණේ ඉදිරිපත් කරන ලද නාමයෝජනාවෙහි අවශ්‍ය තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව නො සිටීමයි. මේ පිළිබඳව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේදී පැවති පරීක්ෂණයේදී හෙළි වූ කරුණක් වන්නේ මෙහි තරුණ අපේක්ෂකයන්ගේ අවම වයස අවුරුදු 18 නො ව 20 පමණ විය යුතු බවට කොන්දේසියක් ක්‍රියාත්මකව තිබුණු බවයි.

අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා 1991 මැයි 31 දිනට පෙර උපත ලැබිය යුතු අතර ඉන් පසුව ඉපදුණු අයට අපේක්ෂකත්වය ලැබිය නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂවින්ද්‍ර ප්‍රනාන්දු අභියාචනාධිකරණයේදී පැවසීය.

සෑම අපේක්ෂකයෙකුම 2009 ජූලි 01 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුව තිබූ බවත් එදිනට වයස අවු. 18 සම්පූර්ණ වී නොතිබූ අපේක්ෂකයින් ඇතුළත් වූ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසී ය. තරුණ අපේක්ෂකයන් සඳහා උපරිම වයස ද ගණනය වී ඇත්තේ මේ දිනයටයි. පළාත් පාලන ඡන්දයේදී තාරුණ්‍යයට අදාළව ලංකාවේ රාජ්‍ය පාලනය වසර දෙකක් පමණ පසුපසිනි.

“ඡන්ද හිමි නාම ලේඛණයක්‌ යනු කිසියම් වර්ෂයක ජුනි මස 01 වැනි දිනට ඡන්ද හිමියකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇති සහ ගණන් ගන්නා නිලධාරීන් වෙත ලිඛිතව එම තොරතුරු දන්වා ඇති සියලුම තැනැත්තන්ගේ නම් ඇතුළත් කර සකස්‌කර නිශ්චිත දිනයකදී සහතික කරන ලද ලේඛනයකි,” යි රනිල් ධර්මසේන දිවයින පුවත්පතට ලියූ ලිපියක පෙන්වා දෙයි. 2011 පළාත් පාලන මැතිවරණයේදී තරුණයන්ට ඉතා පැහැදිලි අසාධාරණයක් සිදු වී තිබෙන බව පැහැදිලි ය. එහිදී ප්‍රායෝගිකව තරුණයන් ලෙස සලකා තිබෙන්නේ වයස අවුරුදු 20 සම්පූර්ණ වූ අයයි.

මෙය 2011 පළාත් පාලන මැතිවරණයට පමණක් සීමා වූ තත්වයක් නො වේ. මැතිවරණ පැවැත්වීමේදී පදනම් කර ගන්නා ඡන්ද හිමි නාම ලේඛනය හේතු කරගෙන, මැතිවරණය පවත්වන විට වයස 18 සපුරා තිබෙන බොහෝ දෙනෙකුට ඡන්ද බලය අහිමි වීම සාමාන්‍ය තත්වයකි. මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා යොවුන් පාර්ලිමේන්තුවේ 7වන සැසිවාරයේ විශේෂ ආරාධිත දේශනය කරමින් 2012 ජුලි මාසයේදී මෙසේ පැවසී ය:

“ඡන්දය දීමේ අයිතිය වයස 18ට ලැබෙන බවට ඡන්ද ලේඛනවල ලියැවුණත් කිසිම ඡන්දයකදී 18 අය ඡන්දය දී නැහැ. මන්ද සෑම ඡන්දයක්ම පැවැත්වෙන විට 18 තරුණයා අවුරුදු 20 හෝ 21 වෙලා.

“ඒ සමගම ආදායම් බද්දේ වයස සීමාව අවුරුදු 18 වුණා. එම නිසා වයස 18 සිටින තරුණයින් ආදායම් උපදවන්නේ නම් ඔවුන්ට ආදායම් බදු ගෙවීම අනිවාර්ය වුණා.

“1931 දී අපේ රටේ සාක්ෂරතාව 30%යි. අද එය 74%ට වැඩි වෙලා. මෙම වර්ධනයට ද 18 ඡන්ද බලය හේතු වුණා. 1940 දී අපේ විශ්වවිද්‍යාලය ගිය ශිෂ්‍ය ප්‍රමාණය වසරකට 100ක්. 2012 එය 22,000 පමණ වෙනවා. මේ අනුව තරුණ ප්‍රජාවට රටේ වගකීම් පවරා දිය හැකි තත්ත්වයක පවතිනවා.

“ඡන්ද අයිතිය වයස 18 නියමය අනුව පාර්ලිමේන්තුව පත් වූ ළාබාලම මන්ත්‍රිවරයා ලක්ෂ්මන් රාජපක්ෂ මහතායි. එවිට ඔහුගේ වයස 21 යි. වයස 21ට අඩු කිසිවෙක් තවම පාර්ලිමේන්තුවට පත් වී නැහැ.

“වයස 18 සීමාව නිසයි ලක්ෂ්මන් රාජපක්ෂ මහතා වයස 21 දී පාර්ලිමේන්තුවට ආවේ. 21 සීමාව තිබුණා නම් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ වයස 24 දී පමණය.

“යොවුන් පාර්ලිමේන්තුවේ පමණක් නොව බොහෝ රටවල මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා වෙනවා. එහෙත් කිසිම රටක අවුරුදු 18 සීමාවට අඩුවීමක් තවම නෑ.” (මූලාශ්‍රය: දිනමිණ)

අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙසේ සඳහන් විය: “තරුණයා සහ තාරුණ්‍යය පිළිබඳව අපි බොහෝ දේ කථා කර තිබුණත් ජාතියක් වශයෙන් අපි ඔවුන් වෙනුවෙන් ඉටු කර ඇති දේ ඉතා අල්ප බවට මේ රටේ පුපුරා ගිය තරුණ කැරලි සාක්ෂි දරනවා. ඒ ගැටුම්වලින් දහස් ගණනක් අමිල තරුණ ජීවිත අප රටට අහිමි වුණා. 1990 තරුණ අසහන කොමිසම් වාර්තාවේ නිර්දේශ අදටත් ක‍්‍රියාත්මව වී ඇත්තේ අල්ප වශයෙන්. මගේ රජය, එම වාර්තාවේ නිර්දේශ යළි සලකා බලා අද යුගයට ගැලපෙන පරිදි ක‍්‍රියාත්මක වැඩ පිළිවෙළක් බවට පත් කිරීමට කටයුතු කරනවා. ඒ යටතේ, රැකියා ලබා දීමේදී හෝ වෙනත් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය කටයතුවලදී කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකට මාගේ රජය ඉඩ තබන්නේ නැති බව මම අවධාරණය කරනවා.”

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 දරණ යෝජනාව

අප ඉහත ද දක්වන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 දරණ යෝජනාව මගින් තීරණ ගැනීමේ සියලු මට්ටම්වලදී තරුණ ජනයාගේ සහභාගිත්වය වැඩි දියුණු කරන ලෙස හා සන්නද්ධ අරගලවලදී හා පශ්චාත් අර්බුද තත්වයන්හිදී, විශේෂයෙන් තරුණයන් ඇතුළු සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සාමාජික රජයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. යෝජනාවේ අරමුණ වන්නේ සාමය හා ආරක්ෂාව පිළිබඳ කාරණාවලදී තරුණ ජනයාගේ සක්‍රිය, විධිමත්, අරුත්බර සහභාගිත්වය තහවුරු කිරීමයි. ප්‍ර‍චණ්ඩත්වය වැළැක්වීමෙහිදී, සාමය ගොඩනැගීමෙහිදී, සවිබලකරණයේදී, සංවර්ධනයේදී, සමානාත්මතාව ඇති කිරීමෙහිදී මෙන් ම, ගැටුම් අවසන් වූ පසු අවිහරණය, බලමුළු විසුරුවීම හා සමාජය සමග නැවත සම්බන්ධ වීම යන කාරණාවලදී ද තරුණ සහභාගිත්වය සමග මෙම යෝජනාව සම්බන්ධ වේ.

මෙම යෝජනාව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් ය. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 23%කට වඩා තරුණයෝ ය. තව නො බෝ කලකින් ම රටේ ජනගහණයෙන් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකු තරුණ පුද්ගලයකු වනු ඇත.

ශ්‍රී ලංකාව වර්ධනය වෙමින් ඇති තරුණ ජනගහණයක් හා පහළ යමින් තිබෙන සාඵල්‍යතා අනුපාතිකයක් තිබෙන රටකි. මෙම තත්වය ජනවිකාස විද්‍යාවේ සැලකෙන්නේ ජනවිකාස වාසිය ලෙසයි. වැඩිවන තරුණ ජනගහණයක් හා අඩු වෙමින් ඇති සාඵල්‍යතාවක් යන දෙක ම ඇති රටකට ජනවිකාස වාසිය නෙළාගැනීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකාව මෙම ජනවිකාස වාසිය අත්පත් කර ගත යුතු ය. ජනවිකාස වාසිය යනු සිංහල භාෂාවෙන් එතරම් සාකච්ඡා කර ඇති මාතෘකාවක් නොවේ.රොනල්ඩ් ලී හා ඇන්ඩෘ මේසන් විසින් එය අර්ථකථනය කර තිබෙන්නේ මෙසේයි: ජනවිකාස වාසිය යනු සමාජයක් ඉහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත ග්‍රාමීය කෘෂිකාර්මික සමාජයක සිට පහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත නාගරික කාර්මික සමාජයකට සංක්‍ර‍මණය වීමයි.

ජනවිකාස ප්‍ර‍වණතා අනුව 2015 – 2020 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට 7%කට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ හැකියාව ඇති බව ද ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

2012 වන විට වැඩ කළ හැකි වයස් කාණ්ඩයේ ප්‍ර‍තිශතය රටේ සමස්ත ජනගහණයෙන් 67%ක් විය. එහෙත්, අවාසනාවන්ත තත්වය වන්නේ 2012 වන විට රැකියාවල නියුක්තව සිටියේ වැඩ කළ හැකි වයසේ ජනගහණයෙන් 56%ක් පමණි. ශ්‍ර‍ම බලකායේ සහභාගිත්වය අඩු මට්ටමක පැවතීම හා කාන්තාවන් හා තරුණයන් අතර විරැකියාව ඉහළ මට්ටමක පැවතීම මෙම තත්වයට හේතු විය. (මූලාශ්‍ර‍ය: ජාත්‍යන්තර කම්කරු සංවිධානය)

එ‍හෙත්, 2014 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍ර‍ම බලකා සමීක්ෂණයේ දත්ත මගින් හෙළිදරව් වන්නේ වයස අවුරුදු 15-24 තරුණ ජනයා අතර 20.3%ක විරැකියා අනුපාතිකයක් ඇති බවයි. වයස අවුරුදු 25-29 තරුණ ජනයා අතර විරැකියා අනුපාතිකය 8.3%කි.

ජනවිකාස වාසිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට හා විශේෂයෙන් ම නිෂ්පාදන හා සේවා අංශවලදී ආර්ථික වර්ධනය ස්ථාවර කිරීමට ඉවහල් වන ප්‍ර‍තිපත්තිමය පසුබිමක් නිර්මානය කිරීමට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් “අපගේ තරුණ ජනගහණය ශ්‍රී ලංකාවේ මැද ආදායම් තත්වය නිර්ණය කරන ධාවක බලවේගයක් ද?” යන මැයෙන් 2015 දෙසැම්බර් 16දා කොළඹදී පවත්වන ලද පරම්පරාන්තර සංවාදයේදී සාකච්ඡාවට භාජනය විය.

සාකච්ඡා කුසලතා හා ගැටුම් නිරාකරණ කුසලතා වැනි මෘදු කුසලතාවන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව මෙම සංවාදයේ සහභාගිකයන් විසින් පෙන්වා දෙන ලදී. හේතුව, ඒවා නොමැති වුවහොත්, ශ්‍ර‍ම බලකායට අලුතෙන් පිවිසෙන්නන්ගේ ස්ථාවරත්වයට එය අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබීමයි.

තරුණ ජනයාට අවංකව, ගරුත්වයෙන් හා ඉවසීමෙන් යුතුව, සම්පත් වෙනුවෙන් තරගකාරී වන ශ්‍ර‍ම වෙළඳපොළක් තුළ වැඩ කිරීමට හැකියාව ලබා දෙන වටිනාකම් පිළිබඳ අධ්‍යාපනයක් අවශ්‍ය බව ද සාකච්ඡාවට ලක් විය.

එසේම, ප්‍ර‍තිපත්ති සම්පාදනයේදීත්, ක්‍රියාත්මක කිරීමේදීත් තරුණ සහභාගිත්වයට වැඩි අවස්ථාවක් ලබා දීම අතිශය වැදගත් බව ද එහිදී අවධාරණය විය.

තරුණ කැරැලි

තරුණ දේශපාලන සහභාගිත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී බොහෝ විට අවධානය යොමු වන්නේ තරුණ කැරැලි කෙරෙහි ය. 1971, 1987-89 වැනි කාල පරිච්ඡේදවල පැවති සිංහල තරුණයන්ගේ කැරැලිවලදී මෙන් ම, තිස් වසරක් තිස්සේ ඇදී ගිය දෙමළ ඊලාම් කැරැල්ලේදී ද වැඩි ම සහභාගිත්වයක් දැක්වූයේ ද, එම හේතුවෙන් වැඩි ම හානියක් අත්පත් කර ගත්තේ ද තරුණ ප්‍රජාවයි. කැරැලි මර්දන කටයුතුවලට සහභාගි වූ ආරක්ෂක හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක වැනි බලකායන්ගේ බහුතර සාමාජිකයන් ද, වැඩිපුර ම හානියට පත් වූ පිරිස් ද තරුණයෝ ය.

කැරැලිවලදී තරුණයන් වැඩිපුර දායක වී තිබෙන්නේ මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කිරීමට නො ව එය කඩාකප්පල් කිරීමටයි. 1971 අප්‍රේල් කැරැල්ලට පෙරාතුව පැවති 1970 මහ මැතිවරණයේදී තරුණ ව්‍යාපාර මැතිවරණ වර්ජන හෝ කඩාකප්පල් කිරීම්වලට යොමු වූයේ නැත. එහෙත්, 1987 පළාත් සභා මැතිවරණය, 1988 ජනාධිපතිවරණය හා 1989 මහ මැතිවරණය වර්ජනය කරමින් ඒවා කඩාකප්පල් කිරීමට එවකට තහනම් දේශපාලන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු කරන ලදී. ඉතිහාසයේ පළමු වතාවට ඡන්දය දීම ම එක ම හේතුව ලෙස සලකමින් ඡන්දදායකයන් මරා දැමීම සිදු වූයේ මෙම සමයේ ය. මැතිවරණ අපේක්ෂකයන්, ඡන්ද පොළ නියෝජිතයන්, මහජන නියෝජිතයන් විශාල පිරිසක් මෙම කැරැලිවලදී ඝාතනය කරන ලදී.

ඒ හා සමාන්තරව, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් ද 1983 සිට 2009 දක්වා ම පවත්වන ලද සියලු මැතිවරණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල කඩාකප්පල් කිරීමට කටයුතු කළේ ය. 2004 මහ මැතිවරණය පැවැත්වීම සඳහා කොටි සංවිධානය උදව් කළ මුත්, ඔවුන්ගේ අනියම් පාලන ප්‍රදේශවල පදිංචිව සිටි වැසියන් රජයේ පාලන ප්‍රදේශවලට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමේදී බලපෑම් කළ බවට කොටි සංවිධානයට චෝදනා එල්ල වේ.

කොටි සංවිධානය විසින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර තිබෙන මුත්, ඔවුන් කිසිදු කලෙක ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලිය බැරෑරුම් ලෙස සලකා නැත. එහෙත්, ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP), ඊලාම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF), දෙමළ ඊලාම් ජනතා විමුක්ති පෙරමුණ (PLOTE) වැනි පක්ෂ සන්නද්ධ කැරැලිකාර ව්‍යාපාර හා අතුරු හමුදා ලෙස පැවත පසුව මුළුමනින් ම ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහයට පිවිස ඇති බව පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගල හා මැතිවරණ අතර කලින් කලට දෝලනය වෙමින් තිබී මේ වන විට ප්‍රජාතාන්ත්‍රික රැඩිකල් පක්ෂයක් ලෙස ස්ථායී ඇති බව පෙනේ. වර්තමානය වන විට ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන දේශපාලන උපායමාර්ගය වන්නේ මැතිවරණ තරග කිරීම හා නියෝජිත සභාවලට තේරී පත් වීමයි. එහෙත්, ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය තවමත් එසේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ස්ථාපිත වී තිබේ ද යන්න පැහැදිලි නැත.

තරුණයන් සාමාන්‍යයෙන් ම රැඩිකල් නැඹුරුවක් සහිත ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන විපර්යාසවලට හේතු වූ මැතිවරණ හැම එකකදී ම පාහේ තරුණ දායකත්වය කැපී පෙනේ. 1956, 1977, 1994 හා 2015 වසරවල පැවති, රටේ ප්‍රධාන දේශපාලන විපර්යාසයන්ට හේතු වූ මැතිවරණවලදී තරුණයන් ඉතා සක්‍රිය ලෙස මැදිහත් වී ඇති බව ද, ප්‍රතිඵලය කෙරෙහි තරුණ ඡන්ද විශාල වශයෙන් බල පා තිබෙන බව ද නිරීක්ෂණය කර තිබේ.

එහිදී 2015 ජනාධිපතිවරණය වැදගත් වන්නේ හුදෙක් ම එය ආසන්න සිද්ධියක් පමණක් නිසා නො වේ. 2015 මැතිවරණය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන්හිදී අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය බලපෑම අතිශය වැදගත් වූ පළමු මැතිවරණයයි. සමාජ මාධ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් දැකිය හැකි කාරණයක් වන්නේ සම්ප්‍රදායික මාධ්‍යවලට වඩා නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරවීම කෙරෙහි තරුණ බලපෑම වැඩි බවයි.

සමාජ මාධ්‍ය

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය බලපෑම වර්ධනය වන්නට පෙර ලෝකයේ සමාජ මාධ්‍ය හරහා ඇති වූ පෙරළි සලකා බැලීමේදී අරාබි වසන්තය ලෙස හඳුන්වන ක්‍රියාදාමය සිදු වූ රටවල ඇත්තෙන් ම සිදු වූ දේ කුමක් ද විමසා බැලීම වටී.

2010 ජුලි මස ටියුනීසියාවේ රැකියා විරහිත උපාධිධාරියකු ජීවත් වීම සඳහා එළවළු විකුණමින් සිටි කරත්තය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ගිනි තබාගෙන මිය ගියේ ය. මෙම සිද්ධියෙන් කුපිත වූ ටියුනීසියානු තරුණ පරපුර විසින් දියත් කරන ලද අරගලය අවසානයේදී ටියුනීසියානු ජනාධිපති බෙන් අලි රටින් පළා ගියේ ය. ස්විස් බැංකුවල තැන්පත් කර ඇති ජනතාවගෙන් සොරා ගන්නා ලද මුදල් ආපසු ඔහුට ලබා දීම ස්විට්සර්ලන්ත ආණ්ඩුව විසින් අත්හිටුවන ලදී.

ටියුනීසියාවේ එළවළු විකිණූ තරුණයා වැනි ම රැකියා විරහිත තරුණයකු 2011දී බහරේනයේ ගිනි තබාගෙන මිය යාමත් සමග බහරෙන්හි ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂණ ඇරඹිණි.

2011 වසරේ ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල ආරම්භක වකවානුවේදී මෙවැනි සිදුවීමක් වාර්තා විය. හොස්නි මුබාරක්ගේ පාලනයට එරෙහිව පැන නැගුණු දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු බලයෙන් පහ කරන ලදී. ඔහුගේ ද විදේශ වත්කම් ඔහුට ලබා දීම අත්හිටුවන ලදී. ඒ මහජනතාවගෙන් මංකොල්ල කන ලද ධනයයි.

මෙම අරගලවලදී සම්ප්‍රදායික මාධ්‍යවලට වඩා වැදගත් වූයේ සමාජ මාධ්‍යයි.

පළාත් පාලන මැතිවරණ

පළාත් පාලන මැතිවරණ ඡන්ද ක්‍රමයේදී දැනටත් තරුණ සහභාගිත්වයට වැඩි ඉඩක් ලබා දීමේ අවස්ථා සම්පාදනය කර තිබේ. පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂක ලැයිස්තුවල 25%ක් වයස අවුරුදු 18-35 අතර පුද්ගලයන් විය යුතු ය. එහෙත්, අනිවාර්යයෙන් ම පළාත් පාලන ආයතන සභිකයන්ගෙන් 25%ක් තරුණයන් බවට පත් වන තත්වයක් මෙයින් නිර්මානය වන්නේ නැත. සත්‍ය වශයෙන් ම, පළාත් පාලන ආයතනවල ද තරුණ නියෝජනය අවම ය. එසේම, පළාත් පාලන මැතිවරණ බලවත් දේශපාලනඥයන් සිය දරුවන් දේශපාලනයට පුහුණු කිරීම සඳහා හා ඔවුන් දේශපාලන නියෝජනය සඳහා ඇතුළත් කර ගැනීම සඳහා භාවිතා කරන වේදිකාවක් බවට පත් කරගෙන තිබීම නිසා ප්‍රජාතාන්ත්‍රික තරුණ නියෝජනයට බරපතල ගැටලු රැසක් ඇති වී තිබේ.

තරුණ නියෝජනය සඳහා අවස්ථා ලබා දීම අතිශය වැදගත් බව සමාජය අවබෝධ කර ගත යුතු ය. 1987-89 තරුණ කැරැල්ලෙන් පසුව 1990දී පත් කරන ලද තරුණ අසහන කොමිෂමේ එක් නිර්දේශයක් වූයේ දේශපාලනයේ තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා පියවර ගැනීමයි. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඉහත කී තීරණය ගැනුණේ එම සංදර්භය තුළ ය.

“ශ්‍රී ලංකාවේ තරුණ ජනයාගෙන් 71.5%ක් ම දේශපාලනිකව අක්‍රිය ය. කිසියම් දේශපාලන කටයුත්තක යෙදී සිටින්නේ 1.9%ක් පමණි. වෘත්තීය සමිති හා සම්බන්ධ 1.3%ක් පමණි,” යි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් 2015 වසරේ පළ කරන ලද 20.4 Million නම් ග්‍ර‍න්ථයෙහි දැක්වේ.

වත්මන් ශ්‍රී ලංකාවේ සිටින තරුණ ජනගහණයේ විශාලත්වය නිසා ම දේශපාලනයේ තරුණ සහභාගිත්වය අතිශය වැදගත් වේ. තරුණ ජනයා වැඩිපුර දේශපාලනයේ නිමග්න වීමෙන් ප්‍ර‍කාශ වන්නේ රටේ ප්‍ර‍තිපත්ති සම්පාදන ක්‍රියාවලිය තරුණයන් ගැන සංවේදී වී ඇති බවයි.

election-book2

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS