youth
ආසාදිතයන් ය කියන්න එපා. HIV සමග ජීවත් වන ජනයා යි කියන්න -ප්‍රින්සි මංගලිකා
by පැරකුම් ජයසිංහ
දෙසැම්බර් 1, 2016

දෙසැම්බර් 01දාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය සැමරීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් අපි අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට පා ගමනින් කැම්බල් පිටියට ගොස් රැළියක් පැවැත්වූවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන, ක්‍රියාධරයන්, හමුදා සාමාජිකයන් ආදීන් පමණක් නොවෙයි HIV සමග ජීවත් වන ජනයාත් එකතු වුණා.

කැම්බල් පිටියේ පැවැත්වුණු රැළිය අමතා 16 වසරක් තිස්සේ  HIV සමග ජීවත් වන ක්‍රියාකාරිනියක වන ප්‍රින්සි මංගලිකා ඉතා වැදගත් ඉල්ලීමක් කළා ය.

තම ප්‍ර‍ජාව  HIV ආසාදිත ජනයා ලෙස ආමන්ත්‍ර‍ණය කරනවා වෙනුවට ඔවුන්  HIV සමග ජීවත් වන ජනයා ලෙස ආමන්ත්‍ර‍ණය කරන ලෙස ඇය සෞඛ්‍ය බලධාරීන්ගෙන්, අදාළ සංවිධානවලින් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

මෙම ඉල්ලීම ඉතා වැදගත්. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ පළමු  HIV ආසාදිත පුද්ගලයා වාර්තා වන්නේ 1987දී ය. එදා සිට මේ දක්වා 2500කට වඩා පිරිසක්  HIV සමග ජීවත් වන බව වාර්තාගත වී තිබේ. එහෙත්, වාර්තාගත වී නැති පිරිසත් සමග මෙම පිරිස 4000 ඉක්මවන බව සෞඛ්‍ය අංශවල විශ්වාසයයි. මේ වන විට  HIV ආසාදනය AIDS තත්වයට පත් වීම නිසා ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 400 ඉක්මවයි.

HIV සමග ජීවත් වන ජනයා නිසි ප්‍ර‍තිකාර ලබා ගන්නේ නම් ඔවුන්ට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග ඇති අය ජීවත් වන අන්දමට ම දිගු කලක් ජීවත් වන්නට හැකි ය. එසේම. නිසි ආරක්ෂක උපක්‍ර‍ම අනුගමනය කිරීමෙන් රෝගය බෝවීම වැළැක්විය හැකි ය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පවත්වන අය HIV රුධිරය පරීක්ෂා කර ගැනීම වැදගත් වන්නේ ඒ නිසා ය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පවත්වන බොහෝ අය රුධිරය පරීක්ෂා කර ගන්නට ඉදිරිපත් නො වන්නට ප්‍ර‍ධාන හේතුවක් වන්නේ  HIV සමග ජීවත් වන අය සම්බන්ධයෙන් සමාජයේ පවතින අපකීර්තිමත් ආකල්පයි. ප්‍රින්සි මංගලිකාගේ ඉල්ලීම වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. එය HIV සමග ජීවත් වන ජනයා විෂයෙහි සමාජයෙහි ඇති අපකීර්තිමත් ආකල්ප දුරු වී යාමට ඉවහල් වනු ඇත.

එක්සත් ජාතීන්ගේ ධරණීය සංවර්ධන ඉලක්ක අනුව, 2030 වසර වන විට  HIV සමග ජීවත් වන ජනයාට වෙනස්කම් කිරීමත්, නව ආසාදන ඇති වීමත්, AIDS මරණ වැළැක්වීමත් ඉලක්ක කර තිබේ. මෙම බිංදු තුනේ ඉලක්කය වසර පහක් කලින්, 2025 වන විට සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ වැඩපිළිවෙලක් සකසා තිබේ.

ඒ අනුව, ලබන වසර වන විට මවගෙන් දරුවාට  HIV  ආසාදනය වීම වැළැක්වීම එක් අභිමතාර්ථයකි.

ශ්‍රී ලංකාවේ HIV  ව්‍යාප්තිය ජනගහණයෙන් 0.01%ට වඩා අඩු ය. එහෙත්, HIV වනාහි ඕනෑම මොහොතක වසංගත තත්වයක් බවට පත් විය හැකි අවදානමකි. එහෙයින්, HIV සම්බන්ධයෙන්  අවධානය දිගට ම රඳවා තබා ගැනීම ඉතා වැදගත් ය.

පහත පළ වන්නේ කැම්බල් පිටියේදී කියන්න කැමරා ඇසට හසු වූ දසුන් කීපයකි.

princy
ප්‍රින්සි මංගලිකා
get-tested
පරීක්ෂා කර ගන්න
සතුට රැක ගන්නට කොන්ඩම්
සතුට රැක ගන්නට කොන්ඩම්
සතුට හැමදාමත් රඳවාගන්න
දැනුවත් වෙමු. දැනුවත් කරමු. වළක්වමු.
සුන්දර හෙට දවසක්
සුන්දර හෙට දවසක්

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS