women
ලංකාවේ මුල්ම සින්නදොරේ නෝනා
by පැරකුම් ජයසිංහ
දෙසැම්බර් 6, 2016

ලංකාවේ වැවිලිකාර වෘත්තිය ආරම්භ වන්නේ 19වන සියවසේදීයි.

ඉංග්‍රීසීන් විසින් උඩරට ද ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාව ම යටත් කර ගත් පසුව, උඩරට කඳුකර ප්‍රදේශවල කෝපි වගාව ආරම්භ වුණා. ගම්පොළ සිංහපිටිය නමැති වත්තක, අක්කර 400 ක ඉඩමක, ජෝර්ජ් බර්ඩ් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් ප්‍රථම වතාවට කෝපි වවන ලද බව වාර්තා වෙනවා.

1860 දශකය අවසන් හරියේදී ලංකාවේ ඉඩම් අක්කර 170,000ක පමණ කෝපි වගාව පැතිර තිබුණා. නමුත් 1869දී මඩොල්සිම ප්‍රදේශයෙන් මුල් වරට වාර්තා වුණ හෙමිලියා වැස්ට්‍රාට්‍රික්ස් නම් රෝගය වේගයෙන් පැතිර යාම නිසා ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා.

1873දී ජේම්ස් ටෛයිලර් හේවාහැට ලූල්කඳුර වත්තේ ආරම්භ කරන ලද තේ වගාව ඉන් පසු උඩරට හා පහතරට තෙත් කලාපයේ ව්‍යාප්ත වුණා.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ආරම්භ වන්නේ 1854දීයි. 1975දී වතු ජනසතු කළ විට වැවිලිකාර වෘත්තිය ද රජයේ සේවයට එකතු වුණා. එහෙත්, රජයට පවරා ගන්නා ලද වතු පාලනය පසුව 1992දී යළි පෞද්ගලික අංශයට  ලබා දුන්නා.

මුල් යුගයේ වැවිලිකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නත්, ඉන්පසු වැවිලිකාර වෘත්තිය කීර්තිමත්, සම්භාව්‍ය වෘත්තියක් ලෙසයි සැලකුණේ. ඒ හා සම්බන්ධ ජීවන රටා, විලාසිතා ආදියත් තිබෙනවා. වතුවල කළමනාකරුවන්, වතු අධිකාරිවරුන් වතු කම්කරුවන් විසින් ආමන්ත්‍ර‍ණය කරනු ලැබුවේ පෙරියදොරේ (ලොකු මහත්තයා), සින්නදොරේ (පොඩි මහත්තයා) වශයෙනුයි. මේවා PD, SD වශයෙන් ඉංග්‍රීසියෙන් කියැවෙනවා.

කොට කලිසම්, කමිස හා ඒ මතින් කබා ඇඳ උසට දැමූ මේස් සමග සපත්තු ඇඳ, තොප්පියක් පැළඳ, අතේ බස්තමක් රැගෙන හෝ යතුරුපැදියෙන් හෝ ගමන් බිමන් යන, මෙම ක්‍රීඩාශීලී පෙනුමැති, හැඩකාර වැවිලි වෘත්තිකයන් අතර කාන්තාවන් ගැන වාර්තා වී නැති තරම්.

චතුරිකා රාජපක්ෂ ලංකාවේ පළමු සින්නදොරේ විය හැකියි. බදුල්ල විහාර මහා දේවි බාලිකා පාසලේ උගත්, 26 හැවිරිදි චතුරිකා සිය පියාගේ අඩිපාරේ යමින් වැවිලිකාර වෘත්තිකයකු ලෙස සිය පුහුණුව නිමා කර පසුගියදා හාලිඇල ක්වීන්ස් ටවුන් වතුයායේ කණ්ෂ්ඨ සහකාර වතු අධිකාරිවරියක ලෙස සේවයට බැඳුණා. සන්ඩේ ටයිම්ස් පුවත්පතින් උපුටා ගන්නා ලද ඉහත ඡායාරූපයේ මැද සිටින්නේ ඇයයි. පළමු සහකාර වතු අධිකාරිවරිය ලෙස සැලකිය හැකි ඇගේ අනාගත බලාපොරොත්තුව පළමු වතු අධිකාරිවරිය වීමයි.

ලංකාවේ වතු ආශ්‍රිතව සේවයේ යෙදී සිටින කම්කරුවන්ගෙන් බහුතරය කාන්තාවෝයි. තේ දළු නෙළීම, කර්මාන්තශාලාවල වැඩ කිරීම වැනි වෙහෙසකර කටයුතුවල යෙදී සිටින මෙම කාන්තාවන් පරිපාලනය කරන්නට යන මේ කාන්තාවට ඔවුන්ගේ සුවිශේෂ ගැටලු හඳුනා ගන්නට හැකි වේවි ද?

පිරිමින්ට පමණක් සුදුසු යයි කියන රැකියා ක්ෂේත්‍ර‍වල අවස්ථා ලබා ගන්නට අරගල කරන දිරිය ගැහැනුන් පිළිබඳ අප වාර්තා කරන්නේ සතුටින්.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ වාර්තාව අනුව,  ශ්‍රී ලංකාවේ ශ්‍ර‍ම බලකාය තුළ කාන්තාවන් සිටින්නේ 36%ක් පමණයි.

කාන්තාවන් අතර රැකියා කරන්නන් ප්‍ර‍තිශතය 54%ක්. එහෙත්, කාන්තාවන් අතර සේවායෝජකයන් සිටින්නේ 0.9%ක් පමණි. ස්වයං රැකියාවක නියැලෙන්නෝ ප්‍ර‍තිශතය 24%ක් වන අතර පවුලේ ගොවිතැනක් හෝ ව්‍යවසායක් හෝ තුළ වැටුප් නො ලබා වැඩ කරන්නෝ 20.5%කි.

කාන්තාවන් පවුල් තුළ හා පවුලේ ව්‍යවසාය තුළ කරන මෙහෙයේ වටිනාකම බොහෝ විට නිවැරදිව තක්සේරු වන්නේ නැත. ඇතැම් විට ඉතා අසාධාරණ ලෙස මෙම කාන්තාවන් ආර්ථික වශයෙන් අක්‍රිය කොටසක් ලෙස ද වර්ගීකරණය කර තිබෙනු දක්නට ලැබේ.

තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ට ලැබෙන අවස්ථා සීමිත වීම දේශපාලනය තුළින් මැනැවින් නිරූපණය වේ. කාන්තාවන්ගේ පාර්ලිමේන්තු නියෝජනය 6%ට අඩු මට්ටමක පවතී.  2010-2015 පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මුළු මන්ත්‍රීන් 225න් 13ක් පමණි. ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වීම සඳහා තිබෙන අවස්ථාව ඉතා අඩු ය. පළාත් සභාවල කාන්තා නියෝජනය 4%ටත් අඩු ය. 2013 වන විට පළාත් සභාවල ඇමති තනතුරු කිසිවක් කාන්තාවන්ට හිමි වී තිබුණේ නැත. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ද එවැනි ම අඩු මට්ටමක පවතී.

එහෙත්, රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 40% ඉක්මවයි. පළාත් සභා සේවය තුළ සිටින රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 59.7%කි.

2014 වන විට අමාත්‍යාංශ ලේකම්වරුන් අතරින් 20%ක් කාන්තාවන් වූ හ. සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු අතරින් 59.6%ක් ම හොබවන්නේ කාන්තාවන් විසිනි. එහෙත්, අති බහුතරයක් (73.2 %) කාන්තාවන් සේවයේ නියුතුව සිටින ගුරු වෘත්තිය තුළ විදුහල්පතිනියන් සිටින්නේ 20%ක් පමණි. එහෙත්, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් තුළ කාන්තා ප්‍ර‍තිශතය පිරිමි ප්‍ර‍තිශතයට ආසන්න මට්ටමක තිබේ.

අනෙකුත් රැකියා ක්ෂේත්‍ර‍වල ද ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය පියවීමට කටයුතු කිරීමෙන් රැකියාවන්හි ස්ත්‍රී පුරුෂ ඒකාකෘතිකරණය පිටුදැකිය හැකි ය.

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS