women
රානි මානික්කම් සිද්ධිය: විදේශ රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ ආරක්ෂණ විධිවිධාන ප්‍ර‍මාණවත් ද?
by Kiyanna Staff
නොවැම්බර් 21, 2016

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන ගලේවෙල, කලාවැව, 44 කණුවේ පදිංචි රානි මානික්කම් එක් දරු මවකි.  මේ වන විට 29 හැවිරිදි වන රානි 12 හැවිරිදි දියනියකගේ මවයි. ඇය ජීවත් වන්නේ සැමියාගෙන් වෙන්ව ය.

ඇය 2014දී පවිත්‍ර‍තා කම්කරු රැකියාවක් සඳහා වන ගිවිසුමක් මත පෞද්ගලික රැකියා නියෝජිතායතනයක් හරහා නීත්‍යානුකූල ලෙස සවුදි අරාබිය බලා පිටත් වන විට ඇගේ වයස අවුරුදු 27කි.

පවිත්‍ර‍තා කම්කරු රැකියාවක් වෙනුවෙන් විදේශගත වූ මුත් මෙම කාන්තාවට සවුදි අරාබියේදී කුඩා දරුවන් සයදෙනෙකු රැක බලා ගැනීම පැවරිණි.

එහිදී බිළිඳකුට බෝතලයෙන් වතුර පානය කිරීමට දී තිබියදී එහි සූප්පුව ගැලවී ගොස් උගුරේ සිර වී බිළිඳා මිය යාම හේතු කරගෙන ඇය දස වසරක සිර දඬුවමකට ද ඉන් පසු මරණීය දණ්ඩනයට ද ලක් වූවා ය.

පසුව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ හා සවුදි අරාබි තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් දෙවසරක් සිර දඬුවම් විඳීමෙන් පසුව නිදහස ලබා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මාධ්‍ය අමතා මෙසේ පැවසුවා ය.

සෑම වසරක ම ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශ රැකියා සඳහා නික්ම යන අතර, ඒ අතරින් බහුතරය යන්නේ ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කිරීමටයි. 2014 වසරේ විදේශගත වූ ශ්‍ර‍මිකයන් අතරින් ද 36.8%ක් ම කාන්තාවෝ ය. සමස්ත සංක්‍ර‍මණික කම්කරුවන්ගෙන් 29.5%ක් ම ගෘහ සේවිකාවෝ ය. 2014 වසරේදී ද ශ්‍රී ලංකාවෙන් පිටත් වූ විදේශ ශ්‍ර‍මිකයන් අතරින් 26.8%ක් ම ගියේ සවුදි අරාබියටයි. (වාර්ෂික වාර්තාව – 2014, ශ්‍රී ලංකා මහ බැංකුව)

මෙම කාන්තාවන් විසින් ආර්ථිකයට කරනු ලබන දායකත්වය අති විශාල ය. විදේශ ශ්‍ර‍මිකයන් විසින් මෙරටට එවන මුදල් ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගයකි. 2014 වසරේදී විදේශ ශ්‍ර‍මිකයන් ශ්‍රී ලංකාවට එවූ මුදල් ප්‍ර‍මාණය ඩොලර් බිලියන හත ඉක්මවයි. (වාර්ෂික වාර්තාව – 2014, ශ්‍රී ලංකා මහ බැංකුව) එය රුපියල් බිලියන 900කට අධික ය. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වේ.

2013දී විදේශ රැකියා ප්‍ර‍වර්ධන හා සුබසාධන අමාත්‍යාංශය විසින් වැදගත් චක්‍රලේඛ දෙකක් නිකුත් කරන ලදී. පළමුවැන්න ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතනවලට වන අතර දෙවැන්න නිකුත් කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ය. 2014 ජනවාරි සිට ක්‍රියාත්මක කරන ලද මෙම චක්‍රලේඛ මගින් ගෘහ සේවා ක්ෂේත්‍රයේ විදේශ රැකියා අපේක්ෂා කරන සියලු කාන්තාවන් විසින් පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන ලදී. එමගින් වයස අවුරුදු පහට අඩු කාන්තාවන් විදේශ ගෘහ සේවිකාවන් ලෙස සංක්‍ර‍මණය වීම වළක්වන ලදී. වයස අවුරුදු පහට වැඩි දරුවන් සිටින කාන්තාවන්ට ද විදේශ ගෘහ සේවක රැකියා සඳහා සංක්‍ර‍ණය වීමට අවසර ලැබෙන්නේ දරුවන් රැක බලා ගැනීමට සෑහීමට පත් විය හැකි වැඩපිළිවෙලක් යොදන්නේ නම් පමණි.

එසේම, පළමු වරට විදේශ ගෘහ සේවිකා රැකියාවක් සඳහා සංක්‍ර‍මණය විය හැක්කේ වයස අවුරුදු 55ට අඩු කාන්තාවන්ට පමණි. එසේම සවුදි අරාබියට යා හැක්කේ වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට පමණි. අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවම වයස අවුරුදු 23කි. සෙසු රටවල් සඳහා 21කි.

පවුල් පසුබිම් වාර්තාව සඳහා ග්‍රාම නිලධාරිවරයාගේ, මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ, රැකියා නියෝජිතායතනයේ, දරුවන්ගේ භාරකරුගේ (භාරකරු පියා නොවේ නම්), ස්වාමි පුරුෂයාගේ අවසර අවශ්‍ය ය. අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංක්‍ර‍මණය හා සම්බන්ධ සංවර්ධන නිලධාරිවරයා සතුව ය.

මෙම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස 2013 වසරට සාපේක්ෂව 2014 වසරේදී කාන්තා ශ්‍ර‍මිකයන් විදේශ රැකියා සඳහා යාම 6.4%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍ර‍කාශක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා 2015 මාර්තු මස මාධ්‍යවලට පැවසී ය. විදේශ රැකියාවලට පිටත් වීමට පෙර පැවැත්වෙන පුහුණුවීම්වලට කාන්තාවන් සහභාගි වීම ද 34%කින් අඩු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. (http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=121726)

කෙසේ වෙතත්, රානි මානික්කම් මෙම ප්‍ර‍ශ්නයට මුහුණ දෙන්නේ මෙම සියලු ආරක්ෂණ විධිවිධානවලින් ඔබ්බෙහි වීම අවධානයට ලක් විය යුතු කාරණයකි. ගිවිස ගත් රැකියාව වෙනුවට ඇයට පුහුණුවක් නැති වෙනත් දැඩි වගකීම් සහගත රැකියාවක, අවිධිමත් ශ්‍ර‍ කොන්දේසි යටතේ සේවයේ යෙදවීම ඇය මුහුණ දුන් ගැටලුවයි.

මෙවැනි තත්වයන් මගහරවා ගැනීම සඳහා වඩා විධිමත් නියාමනයක් අවශ්‍ය බවට මෙම සිද්ධිය උදාහරණයකි.

COMMENTS ()

Kiyanna Staff
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS