youth
තැඹිලි කඩනවා ද? අධ්‍යක්ෂණය කරනවා ද?
by පැරකුම් ජයසිංහ
ජනවාරි 2, 2017
thembili
පසුගිය වසරේ අගභාගයේදී පුවත්පතක පළ වූ ලුහුඬු දැන්වීම් දෙකක්

ඉහත රැකියා දෙක අතරින් ඔබ තෝරා ගන්නේ කුමන රැකියාව ද?

ගස් නැග තැඹිලි කඩා රු. ලක්ෂයක් ඉපැයීම ද? නැතිනම්,  අධ්‍යක්ෂණ නිලධාරියකු ලෙස රු. 25,000ක් ඉපැයීම ද?

මේ පිළිබඳ අදහස් දක්වමින් බස්සිගේ නවාතැන නම් බ්ලොගය ලියන සිංහල බ්ලොග්කාරිනියක වන යශෝධා සම්මානි මෙසේ පැවසුවා ය: “විශ්වවිද්‍යාලයීය උපසංස්කෘතියට ආවඩන අල්ලපනල්ලේ රැකියා වෙළඳපොළේ විකුණාගන්නට පුළුවන් හැකියාවක් වගාකරගන්න.”

පහත පළ වන්නේ සුදුකුකුළා බ්ලොගය ලියන හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වන බර්ටි රණවීරගේ “අපි කොරියාවේ යනවා .කොරියානුවෝ ඇමෙරිකාවේ යනවා” මැයෙන් ෆේස්බුක්හි තබන ලද සටහනකි.

අද අල් ජසීරාවේ වැඩ සටහනක් තිබුන ඇමරිකාවේ රැකියා හොයන දකුණු කොරියානු තරුණයන් සහ තරුණියන් ගැන . කොරියන් දොස්තරලා ඇමරිකාවේ ගොවිපොලවල්වල රැකියා හොයාගෙන යනවා.

ඔවුන් ඇමරිකාවේ යන්නේ තමන්ගේ රටේ රැකියා නැතිව වත් වැඩි පඩි හොයාගෙනවත් නොවෙයි. නිදහස සොයාගෙන. කොරියාවේ විවේකයක් නොමැතිව වැඩ කිරීමට සිදුවී තිබෙන බවත් ජීවිතය විඳීමට අවස්ථාවක් නොමැති වීමත් ඇමරිකාවේ රැකියා සොයා යාමට ප්‍රධාන හේතුව බව ඔවුන් කීවා. ඔවුන් කීව තවත් කාරණාව තමයි කොරියානු සමාජය තමන් ගැන විමසිල්ලෙ සිටින බැවින් මානසිකව පීඩනයට ලක්වී සිටින බව.

ඔවුන් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් නොවෙයි. කැනඩාවට සහ තවත් යුරෝපා රටවලටද ඔවුන් සංක්‍රමණය වෙනවා. ඔවුන් එහෙ යන්නේ රැකියාවට පමණක් නොවෙයි ස්ථිර ලෙසම පදිංචි වීමට .

කොරියානුවන්ට එතෙර රැකියා සොයා දීමට කොරියාවේ ඒජන්සි තිබෙනවා. ඇමරිකාවේ රැකියාවක් ලැබ දීම සඳහා ඇමරිකන් ඩොලර් 27000ක් අය කරනවා. එයද 3 න් වරකට ගෙවීමට පුළුවන්.

කොරියානු වෛද්‍යවරුන්, ගුරුවරුන් ආදීන් ඇමරිකාවට යාම සඳහා වෙල්ඩින් පාඨමාලා පවා හදාරන්නේ ඇබෑර්තු තිබෙන්නේ එවැනි කුසලතා ඇති අයට පමණක් නිසා. එමෙන්ම ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය නිසා ඉංග්‍රීසි ඉගැනීමටද ඔවුන් මහත් උනන්දුවක් දක්වනවා .

කොරියානුවන්ගේ මේ ස්වභාවය ශ්‍රී ලාංකිකයන් තුළත් දකින්නට ලැබෙනවා.  ලාංකිකයන් සෑම කෙනෙකු ම විදේශගත වෙන්නේ තමන්ගේ රටේ රැකියා නැති නිසා ම නෙමෙයි.  ඇතැම් විට, විදේශ රැකියාවකින් ලැබෙන වැටුපට වඩා ආදායමක් උපයා ගත හැකි රැකියා තමන්ගේ ගම් ප්‍රදේශයේ ම තිබෙනවා. උදාහරණයක් ලෙස මැද පෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් ලබන වැටුප උපයා ගන්නට ක්‍ර‍ම ලංකාවේ කාන්තාවන්ට නැත්තේ නැහැ. හැබැයි, ඒ වෙනුවෙන් යම් කුසලතා ප්‍ර‍මාණයක් හා ව්‍යවසායකත්ව ඥානයක් අවශ්‍යයි.

කොරියාව හා මැද පෙරදිග රටවලට ගොස් අධික ලෙස වෙහෙසී වැඩ කර ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන තරුණයන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේදී කර්මාන්තවල යෙදෙනවා වෙනුවට ත්‍රිරෝද රථ පැදවීම, මුදල් පොළියට දීම වැනි ලෙහෙසි රැකියාවලට පෙළඹෙන බව ද දකින්නට ලැබෙනවා. ඔවුන්ගේ වෘත්තීය අත්දැකීම්වලින් ප්‍රයෝජනයක් ගැනෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ කය වෙහෙසා කළ යුතු රැකියා බොහොමයක් සඳහා කුසලතා සහිත ශ්‍ර‍මයේ දැඩි හිඟයක් තිබෙනවා. නිදහස් වෙළඳ කලාපවල පමණක් කිසිදා පිරවිය නො හැකි පුරප්පාඩු 20,000ක් විතර තිබෙන බව වාර්තා වෙනවා. රැකියා සඳහා ශ්‍ර‍මිකයන් සපයා ගැනීම නව ආයෝජනවලටත් ලොකු ප්‍ර‍ශ්නයක්.

බොහෝ දෙනෙකු සොයන්නේ අඩුවෙන් වැඩ ඇති, රැකියා සුරක්ෂිතතාවෙන් ඉහළ, විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියායි.  මේ වන විට රජයේ සේවයේ ඍජුව රැකියා කරන පිරිස පමණක් ලක්ෂ 15ක් පමණ වෙනවා. ඔවුන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය ආර්ථිකයට විශාල බරක් වී තිබෙනවා.

වසර 2016 අවසානයේදී මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මෑතකාලීන ආර්ථික ප්‍ර‍වණතා වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ රැකියා කළ හැකි, රැකියා සොයන, එහෙත් විරැකියාවෙන් පෙළෙන ජනගහණය 360,000ක් පමණ වේ. වයස අවුරුදු 15-24 තරුණ ජනයා අතර 21.8%ක විරැකියා අනුපාතිකයක් ද වයස අවුරුදු 25-29 තරුණ ජනයා අතර  8.8%ක රැකියා වියුක්තියක් ද තිබේ. වයස අවුරුදු 30-39 කාණ්ඩයේ විරැකියාව 2.4%ක් වන අතර වයස අවුරුදු 40-60 අතර රැකියා වියුක්තිය 0.8%ක් ද වේ.  (උපුටා ගැනීම: රංජන් කස්තුරි, ලංකාදීප පුවත්පත 2017-01-02)

2012 වන විට වැඩ කළ හැකි වයස් කාණ්ඩයේ ප්‍ර‍තිශතය රටේ සමස්ත ජනගහණයෙන් 67%ක් විය. එහෙත්, අවාසනාවන්ත තත්වය වන්නේ 2012 වන විට රැකියාවල නියුක්තව සිටියේ වැඩ කළ හැකි වයසේ ජනගහණයෙන් 56%ක් පමණි. ශ්‍ර‍ම බලකායේ සහභාගිත්වය අඩු මට්ටමක පැවතීම හා කාන්තාවන් හා තරුණයන් අතර විරැකියාව ඉහළ මට්ටමක පැවතීම මෙම තත්වයට හේතු විය. (ජාත්‍යන්තර කම්කරු සංවිධානය)

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS