එක්සත් ජාතීන්ගේ සංවිධානය කාගේ ද?
by පැරකුම් ජයසිංහ
ඔක්තෝබර් 24, 2016

ඇතැම් විට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට විරෝධතා පැවැත්වෙනවා. මෙම විරෝධතාවලට රජයේ ඇමතිවරුන් ද සහභාගි වූ අවස්ථා තිබුණු බව ඔබ දන්නවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අධිරාජ්‍යවාදී සංවිධානයක්, බලවත් රටවල පාලනයට නතු වූ සංවිධානයක්, ලංකාවට එරෙහි බලවේගයක් වැනි අදහසුත් ඇතැම් අය ප්‍ර‍වර්ධනය කරනවා.

ඕනෑම රටක රජය ගැනත් ජනතාවගෙන් කොටසක් අතර මෙවැනි අදහස් තිබෙනවා. එහෙත්, ඒ රට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී රටක් නම්, සමස්තයක් ලෙස රටේ මුළු ජනගහණය ම රජයේ පාර්ශ්වකරුවන් වෙනවා. රජයේ පරමාධිපත්‍යය තිබෙන්නේ ජනතාවටයි. රජය පාලනය කිරීම සඳහා නිශ්චිත වකවානුවකට ආණ්ඩුවක් පත් කර ගනු ලබනවා. ආණ්ඩුවත්, රජයත් එකක් නොවෙයි.

මේ කාරණය යම් දුරකට එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් අදාළයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු රාජ්‍යයන් එක්සත්ව සාදා ගන්නා ලද අන්තර් රාජ්‍ය සංවිධානයක්. ශ්‍රී ලංකාව ඇතුළු ලොව සියලු රාජ්‍යයන් එහි සාමාජිකත්වය දරනවා. එතකොට ඒ රටවල ජනතාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාර්ශ්වකරුවන් වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වූයේ ද දීර්ඝ ජාත්‍යන්තර මහජන සංවාදයක ප්‍ර‍තිඵලයක් ලෙසයි. 19වන සියවස වන විට ප්‍රවාහනයේ දියුණුව හා යටත්විජිතවාදයේ බලපෑමත් සමග ලෝ‍කයේ රටවල් අතර වර්ධනය වූ ගනුදෙනු හා සම්බන්ධකම් පවත්වාගෙන යාම සඳහා යම් යම් නියාමනයන්ගේ අවශ්‍යතාව ලෝකයට දැනුණා. ඒ අනුව විවිධ අවශ්‍යතා වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන ආරම්භ වුණා. ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සංගමය ආරම්භ වුණේ 1865දීයි. විශ්ව තැපැල් සංගමය ආරම්භ වුණේ 1874දීයි. රට රටවල් අතර සන්නිවේදනය මනා ලෙස පවත්වාගෙන යන්නට ලෝකයට ඒ සංවිධාන අවශ්‍ය වුණා.

ඒ අතරතුර, ජාතීන් අතර ඇති වන විවිධ අර්බුද හා ගැටුම් විනාශකාරී යුද්ධ දක්වා දිග්ගැසීම වළක්වා ගන්නටත් ක්‍ර‍මවේද අවශ්‍ය වුණා. 1899දී නෙදර්ලන්තයේ හේග්හිදී ජාත්‍යන්තර සාම සම්මේලනයක් පැවැත්වීමට මග සැකසුණේ එලෙසයි.

ලෝකයේ රටවල් අතර සංවිධානයක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කිරීමේ ගෞරවය ඉම්මානුවෙල් කාන්ට් (1724 – 1804) නම් ජර්මානු දාර්ශනිකයාට හිමි වෙනවා. එහෙත්, එවැනි සංවිධානයක් මුලින් ම බිහි වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි. ජාතීන්ගේ සංගමය (League of Nations) නම් වූ එහි සාමාජිකත්වය ගැනීම ලොව බලවත් රටවල් ප්‍ර‍තික්ෂේප කළා.

එහෙත් දෙවන ලෝක යුද්ධය හේකුවෙන් මෙවැනි සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ලෝකයේ බලවත් ම රටවලට දැඩිව ම දැනුණා. 1945 ඔක්තෝබර් 24දා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ලෝක සාමය සඳහා ඉවහල් වන අන්තර් රාජ්‍ය නියාමනයක් ගොඩනඟා ගැනීමයි. රටවල් 50කින් ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වන විට සාමාජික රටවල් 193කින් සමන්විත වෙනවා.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමත් සමග ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටියා. එහෙත්, එය ලැබුණේ වසර ගණනාවකට පසුව 1955දී ය. වසර ගණනාවක් අපගේ සාමාජිකත්වය පිළි නො ගැනුණේ ඇයි ද කියන කාරණය බොහෝ දෙනෙක් දන්නේ නැහැ.  ලංකාවට නිදහස සමග හිමි වී තිබුණු ඩොමීනියන් තත්වය හේතු කරගෙන ශ්‍රී ලංකාව නිදහස් රටක් ලෙස පිළි ගැනීම රුසියාව වසර ගණනාවක් තිස්සේ ප්‍ර‍තික්ෂේප කළා.

1963 සැප්තැම්බර් 2දා පාර්ලිමේන්තුවේදී එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා එම සිදුවීම මෙසේ විස්තර කරනවා: “අපට නිදහස ලැබුණේ 1948 අවුරුද්දේ බව තමුන්නාන්සේලා පිළි ගන්නවා ඇති. අපි වහාම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඇතුළත් වන්න ඉල්ලුම්පත්‍ර‍යක් යැව්වා. ඒත් ඊට රුසියාව විරුද්ධ වුණා. ඒකත් තමුන්නාන්සේ දන්නවා ඇති. රුසියාව අපේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළා. 1948 සිට 1955 වන තුරු ගත වූ අවුරුදු හතක කාලයක් තිස්සේ රුසියාව අපේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළ නිසයි ලංකාවට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්වය නො ලැබුණේ.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි ලොව රාජ්‍ය විසින් නිර්මානය කර ගන්නා ලද ලොව දැනට තිබෙන හොඳ ම බහු පාර්ශ්වීය සංවිධානය. ජාත්‍යන්තර තැපෑල, මුහුදු හා ගුවන් ගමන්, රටින් රට යාම වැනි සිවිල් අවශ්‍යතාවල සිට ආරක්ෂාව, සාමය, සංවර්ධනය, යහපාලනය, සෞඛ්‍යය, ජීවන තත්වය වැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රමිති ගොඩනැගීමේදී හා නියාමනයේදී එය අපට නැතුව ම බැහැ.

වර්තමාන ලෝකය හමුවේ තිබෙන දැවැන්තම අභියෝගයක් වන්නේ දේශගුණික විපර්යාසයි. මේ ප්‍ර‍ශ්නය නම් තනි, තනි ජාතීන්ට වෙන වෙන ම කිසි සේත් ම විසඳා ගත හැකි එකක් නොවෙයි. රටවල් ලෙස පොළවේ දේශ සීමා මායිම් සලකුණු කර ගත්තාට ලෝකවාසීන් ලෙස අප ජීවත් වන්නේ එක අහසක් යට.

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS