youth
අධ්‍යාපන විද්‍යා පීඨවල පුරුෂාධිපත්‍යය තහවුරු කිරීමක් තිබේ ද?
by පැරකුම් ජයසිංහ
සැප්තැම්බර් 21, 2016

අධ්‍යාපන විද්‍යා පීඨ කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන ආයතන පද්ධතියක්. රටේ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන් අතරින් විශාල ප්‍ර‍තිශතයක් පුහුණු කරන්නේ දිවයින පුරා පිහිටුවා තිබෙන අධ්‍යාපන විද්‍යා පීඨ 16කින්.

මේවාට බඳවා ගනු ලබන්නේ උසස් පෙළ සමත් සිසුන්. ඔවුන් එහිදී ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සඳහා ඉගෙන ගන්නවා. අවුරුදු දෙකක් විද්‍යා පීඨයක නේවාසිකව පාඨමාලාව හැදෑරීමෙන් පසුව අවුරුද්දක් පාසලක සීමාවාසික පුහුණුවක් ලබනවා. ඉන් අනතුරුව ඔවුන් රටේ විවිධ ප්‍රදේශවල පාසල්වල සේවයේ යොදවනවා. විද්‍යා පීඨවලින් පිට වන ගුරුවරුන් කියන්නේ හොඳින් පුහුණුව ලද ගුරු පිරිසක් ය කියන විශ්වාසය අධ්‍යාපන පද්ධතිය තුළ තිබෙනවා.

ඒ නිසා විද්‍යා පීඨවල අධ්‍යාපන ගුණාත්මකභාවය වගේ ම අභ්‍යන්තර සංස්කෘතියත් වැදගත්. පාසල්වලින් පිට වන සිසුන් තරුණ වියේ මුල් අවධියේදී විද්‍යා පීඨයෙන් ලබන අත්දැකීම් ඉතා වැදගත්. ඒවා ඔවුන්ගේ ගුරු ජීවිතය පුරා ම බලපානවා.

විද්‍යා පීඨ පිළිබඳ අප කළ හැදෑරීමකදී දකින්නට ලැබුණු දෙයක් වන්නේ විද්‍යා පීඨවල වැඩිපුර ඉන්නේ ශිෂ්‍යාවන් වීම. ශිෂ්‍යාවන් 100කට පිරිමි ශිෂ්‍යයන් සිටින්නේ 10ක් පමණ බව දකින්නට ලැබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය වැනි විෂයයන්හිදී මෙම තත්වය කැපී පෙනෙනවා.

2015 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ පාසල් 10,144ක සිසුවෝ 4,129,534ක් උගනිමින් සිටියා.

ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන් 236,998ක් සිටියා.

ඒ අතරින් 172,536ක් හෙවත් 73%ක් ම ගුරුවරියෝයි..

ලංකාවේ මෙතරම් කාන්තාවන් පිරිසක් සේවයේ යෙදී සිටින වෙනත් වෘත්තියක් නැහැ.

සිසුන්, සිසුවියන්, දේශකවරුන්, කාර්ය මණ්ඩල සමග විද්‍යා පීඨ අභ්‍යන්තරය පිළිබඳ කළ සාකච්ඡාවලදී අප වටහා ගත් අපූරු කාරණයක් වන්නේ වෙනත් උසස් අධ්‍යාපන ආයතන තුළ මෙන් නො ව, අධ්‍යාපන විද්‍යා පීඨවලදී පුරුෂාධිපත්‍යය තහවුරු කිරීම සඳහා සුව්ශේෂ වැඩපිළිවෙලක් දියත් වන බවයි. මෙය යම් දුරකට විශ්වවිද්‍යාලවල නවක වධයත් එක්ක සම්බන්ධ වන දේශපාලනය වගේ.

වසරින් වසරට ජ්‍යේෂ්ඨ පිරිමි සිසුන් කණිෂ්ඨ පිරිමි සිසුන්ට අවධාරණය කරන දෙයක් වන්නේ පිරිමින්ගේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතු බවයි. එහි ප්‍ර‍තිඵලයක් ලෙස සුළුතරයක් වුව ද, විද්‍යා පීඨ පිරිමි සිසුවෝ අධි ක්‍රියාශීලිත්වයක් පෙන්වීමයි.  කිසියම් දුරකට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයක් ද එහි ඇති බව වාර්තා වෙනවා.  එහෙත්, එය ශාරීරික හිංසනයකට වඩා මානසික හිංසනයක් ලෙස සැලකිය හැකි ය.

කෙසේ හෝ වේවා, සුළුතරයක් වන පිරිමි සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයන්හි නිල හා නො නිල ආධිපත්‍යය අත්පත් කර ගන්නා අතර, පිරිමි ගුරු සිසුන්ට ප්‍ර‍මුඛත්වය දීම විද්‍යා පීඨයන්හි සාමාන්‍ය තත්වය බවට පත් වෙනවා. බොහෝ විට, උදය රැස්වීමවලදී එහෙම වඩා වැදගත් කොඩි එසවීම වැනි අවස්ථාවලදී සිසුවියන් දෙවන තැනට වැටීම සම්ප්‍ර‍දාය බවට පත් වෙනවා. පංතිවල බොහෝ විට ඉදිරි පෙළ ආසන පිරිමි සිසුන් අත්පත් කර ගන්නවා. මෙය කෙතරම් දුර දිග යන තත්වයක් ද යත්, ඇතැම් විද්‍යා පීඨ බොජුන්හලක පිරිමි සිසුන් කෑම බෙදා ගන්නා තෙක් කලින් පැමිණි සිසුවියන් බලා සිටින බව ද දැන ගන්නට ලැබුණා. අවසානයේදී බොහෝ විට සිදු වන දෙයක් වන්නේ විද්‍යාපීඨ ගුරු සිසුවියන් තමන් දෙවන පෙළ පුරවැසියන් ලෙස පිළිගන්න තත්වයකට පත් වෙනවා.

මේ තත්වය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. මන්ද, පුහුණු වන ගුරුවරියන්ගේ පෞරුෂය මේ අන්දමින් බිඳ දමන පසුබිමක් විද්‍යා පීඨවල පවතී නම්,  එය ඔවුන්ගේ සමස්ත ගුරු ජීවිතයටමත්, එතැනින් පාසල් සිසුන්ටත් බලපාන බැවිනි.

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS