women
ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු වීම දුෂ්කර දෙයක්. ජීවිතයේ ගොඩක් දේවල් සමාජය විසින් උදුරා ගන්නවා. – භූමි හරේන්ද්‍ර‍න්
by admin
ජූනි 7, 2016

භූමි හරේන්ද්‍රන් විසිනි.

භූමි හරේන්ද්‍ර‍න් යනු ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී ජනතාව වෙනුවෙන් විවෘතව පෙනී සිටිමින් සටන් කරන කාන්තාවකි. ඇය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන, ඔවුන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සමාජය දැනුවත් කරන සමාජ ක්‍රියාකාරිනියකි. මධ්‍යම පළාතේ රජයේ ජ්‍යේෂ්ඨ තනතුරකට පත් කරන ලද කාන්තාවක් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු ය යන කරුණ මත පදනම්ව පසුගිය සමයේදී කතිකාවක් ඇති විය. එම කාන්තාව එම ධුරයට නුසුදුසු යයි ඇතැමෙක් අදහස් පළ කළේ ඇය සංක්‍රාන්ති සමාජභාවයට අයත් පුද්ගලයකු ය යන පදනමේ සිටයි.

ඒ පිළිබඳ භූමි විසින් දක්වන ලද අදහස් බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ වී තිබේ.

“ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු වීම දුෂ්කර දෙයක්. තමාගේ ජීවිතයේ ගොඩක් දේවල් සමාජය විසින් උදුරා ගන්නවා. විශේෂයෙන්ම තමන්ගේ පවුල, රැකියාවක් කරන්න තිබෙන අවස්ථාව, අධ්‍යාපනය, තමන් කැමති අයකුට ආදරය කිරීමට තිබෙන අවස්ථාව, විවාහ වීම වැනි දෑ සමාජය විසින් උදුරා ගන්නවා,” යි භූමි පවසයි.

පහත පළ වන්නේ ඇය Kiyanna.lk වෙත එවන ලද සටහනකි. ඔබේ අදහසට ද Kiyanna.lk විවෘත බව කරුණාවෙන් සලකන්න.

සංස්කෘතිය හා සදාචාරය පිළිබඳව කතා කිරීමේදී මා පසුගිය දිනෙක මුහුණ පෑ පෞද්ගලික අත්දැකීමක් බෙදාහදාගැනීමට කැමැත්තෙමි.  ගෝලීය අරමුදල ව්‍යාපෘතියට අදාලව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන මගින් එච්.අයි. වී./ ඒඩ්ස්  මර්දන ව්‍යාපෘතිය යටතේ උතුරු නැගෙනහිර පොලිස් මූලස්ථාන නිලධාරින් දැනුවත් කිරීමේ හා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ තුන් දින වැඩමුළුවකට සහභාගි වුණෙමි.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් නීතිය ඉදිරියේ මුහුණ පාන වෙනස්කොට සැලකීම් හා හිංසනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට සම්පත් දායිකාවක් ලෙස  මට ආරාධනා කෙරුණි. එහිදී එක් පොලිස් නිලධාරියකු තර්ක කළේ සංක්‍රාන්ති ලිංගිකත්වය හා සමලිංගිකත්වය සදාචාරයට පටහැනි බවයි. ස්වභාවයෙන් ලැබුණු දේ වෙනස් කරගැනීම වැරදි යයි පවසමින් තවත් පොලිස් නිලධාරියෙකු මාගෙන් අසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් මම අවංකව ම කෝපයට පත් වුණෙමි.

ඔහුගේ සදාචාරය කොහේදැයි මම සැක කළෙමි. ඔහු මගෙන් ප්‍රසිද්ධියේ ඇසූ දෙයක් වූයේ ලිංගික සංක්‍රාන්තියකට මුහුණ පෑ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වශයෙන් මා මාගේ සහකරුවා සමඟ ලිංගිකව හැසිරෙන්නේ යෝනිමාර්ගයෙන්ද අධෝමුඛයෙන්ද යන්නයි.

ලිංගික චර්යාවන් හා ලිංගිකත්වය අතිශය පෞද්ගලික කාරණාවක් බව ඕනෑම සමාජ ස්ථරයක සිටින උගත් නූගත් සියලුම දෙනා දන්නා කරුණකි. එලෙසම කාන්තාවකගෙන් ප්‍රසිද්ධියේ තම සහකරු සමග පවත්නා ලිංගික සම්බන්ධතාව පිළිබඳව ප්‍රශ්න කිරීම කෙතරම් දුරට සදාචාර සම්පන්නදැයි මෙම ලිපිය කියවන්නාවූ ඔබටද හැඟෙනු ඇත.

එලෙසම ඔහු රජයේ පොලිස් නිලධාරියෙකු වූ පමණින් හා මා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වූ පමණින් ඕනෑම දෙයක් මාගෙන්  කිසිඳු සභ්‍යත්වයකින්  තොරව ප්‍රශ්න කිරීමට පෙළඹුණු ඔහුගේ මානසිකත්වය පිළිබඳව ද අප සිත බැලිය යුතු වේ. මෙවැනි පුද්ගලයන් වෙත සංක්‍රාන්ති ලිංගික කාන්තාවක හෝ සමසෙනෙහස් පුද්ගලයෙකු හෝ මුණගැසුණහොත් ඔවුන්ගේ තත්ත්වය කුමක් වේද යන්න මා හට ඇත්තේ විශාල බියකි. මෙවැනි  මානසික තත්වයකින් පසුවන්නන් ඉහළ නිලතල දරන්නාවූ මෙවැනි සමාජයක ලිංගිකත්වය හා ලිංගික අනන්‍යතාව පිළිබඳව පැහැදිලි නියමාකාර විද්‍යාත්මක පදනම පහදමින් සමාජ කතිකාවතක් ආරම්භ කළ යුතුය.

ශ්‍රී ලංකාව වැනි සමාජයක පාසලෙන්, පවුලෙන්, රැකියා ස්ථානවලින්, සමාජසේවා ආයතන තුලින් වැනි සෑම අංශයකින්ම සෑම තැනකින්ම මෙම කතිකාව ඇරඹිය යුතුමය. මන්ද එසේ නොවුණහොත් ලිංගිකත්වය පිළිබඳව පවතින කුහකත්වය නිසා අප රටෙහි අහිංසක තවත් පුද්ගල කොටසකට හිංසාවෙන් පීඩාවෙන් ජීවත් වීමට සිදුවන අතර අප රටට හැකියාවන්ගෙන් දක්ෂතාවන්ගෙන් පිරිපුන් බොහෝ පිරිසක් අපරටට අහිමි වනු ඇත. එය සංවර්ධනය වන රටක් වශයෙන් අපට විශාල පාඩුවකි. රටක් වශයෙන් යාන වාහන, ගොඩනැගිලි අනර්ඝ ගෘහනිර්මාණ වලින් පමණක් නොව රටක් වශයෙන් අප ගුණධර්ම හා මනුධර්මයෙන්ද විශාල වශයෙන්  සංවර්ධනය විය යුතුය.

සංක්‍රාන්ති සමාජභාවී ප්‍ර‍ජාව වෙනුවෙන් අරගල කරන භූමි සමග වෙබ් රූපවාහිනියක් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් පහත වීඩියෝ තුනෙහි පළ වේ.

COMMENTS ()

admin
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS