HIV සහ AIDS අතර ඇති විසල් පරතරය පැහැදිලි කර ගනිමු
by admin
අප්‍රේල් 29, 2016

AIDS රෝගියෙකු මුල්වරට සොයාගත්තේ 1981 වර්ෂයේදී ඇමරිකා එක්‌සත් ජනපදයෙනි. ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස්‌ රෝගියෙක්‌ සිටින බවට වාර්තා වූයේ 1986 දී ය. ඔහු විදේශිකයකි. 1987 දී පළමු ශ්‍රී ලාංකික ඒඩ්ස්‌ රෝගියා වාර්තා විය.

එම කාලයේ ඒඩ්ස් රෝග අනතුර සමාජයට සන්නිවේදනය කිරීම සඳහා භාවිතා කරන ලද පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. මෙය කොන්ඩම් අලෙවි ප්‍ර‍වර්ධනය සඳහා යොදා ගත් පාඨයක් බවටත් අදහසක් ඇත. එය භීතිය ඇති කර භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමේ අලෙවිකරණ උපාය අනුව සිදු වූ දෙයකි.

කෙසේ වෙතත්, එය ඉතා පහසුවෙන් සමාජගත වූ අතර සමාජයේ ස්ථාපිත අදහසක් හෝ ග්‍ර‍ස්ථි වූ අදහසක් හෝ බවට පත් වී ඇති බව ද පෙනේ.

“මං කොරියා යන්න කලින් HIV ගැන අහලා තිබුණෙ නැහැ. ඒත් AIDS කියන වචනෙ නම් හොඳට අහලා තිබුණා.හිතේ රැඳෙන තරමට මං අහලා තිබුණෙත් ‘ඒඞ්ස් මාරාන්තිකයි’ කියන වචන පේලියයි,” යි පසුගිය පෙබරවාරියේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ HIV ආසාදිතයෙක් පැවසී ය.

HIV සහ AIDS අතර ඇති විසල් පරතරය ගැන නිසි අවබෝධයක් ලැබුණේ එම මාධ්‍ය වැඩමුළුවෙන් බව එම වැඩමුළුවට සහභාගි වූ මාධ්‍යකාරියක පැවසුවා ය.

HIV සහ AIDS අතර වෙනස Ask My Doctor වෙබ් අඩවිය විසින් ඉතා සරළ සිංහලෙන් පැහැදිලි කර තිබේ. පහත දැක්වෙන කොටස උපුටා ගනු ලැබුවේ එයිනුයි.

ඒඩ්ස් (AIDS) සහ HIV අසාදනය යනු දෙවර්ගයක්ද?

මෙම රෝගී තත්වය HIV (මානව ප්‍ර‍තිශක්ති ඌනතා වෛරසය) නම් වෛරසයක් මගින් ඇතිකරන්නක්. HIV ආසාදනය ලෙස සැලකෙන්නේ මෙම වෛරසය කුමන හෝ මාර්ගයකින් ශරීරයට ඇතුල්වීමයි. නමුත් ආසාදනය වසර ගණනාවක් තිස්සේ ශරීරගතව පැවතීමත්, ඒ පිළිබඳව නොදැන සිටීමත් නිසා ශරීරයට ඉතා හානිකාරකවන ඒඩ්ස් ( AIDS – Acquired immune deficiency syndrome) දක්වා මෙම ආසාදනය උඩුදිවීම සිදුවන්නට පුළුවන්. HIV ආසාදනයක් ඇතිවී තිබේද, මෙය AIDS දක්වා වූ බරපතල තත්වයට නැඹුරු වී තිබේද යන්න රුධිර සාම්පල පරීක්ෂණ, රෝග ඉතිහාසය හා රෝගී ලක්ෂණ මගින් වෙන් වෙන් වශයෙන් හදුනාගත හැකිවෙනවා.

HIV ආසාදනයට ලක්වූ පුද්ගලයෙකු දක්වන රෝගී ලක්ෂණ හා අසාදිත කාල පරාසය අනුව මෙය වෙනස් වනවා. මෙය මුලික වශයෙන් අවධි හතරක් ලෙස දක්වන්නට පුළුවන්.

1) HIV අසාදිත ප්‍රාථමික අවධිය. (Primary infection)

HIV වෛරසය ශරීරගත වීමෙන් පසුව මුල් අසාදිත අවධිය මෙයයි. බොහෝවිට මේ කාලය තුල ඇතිවන මූලික රෝග ලක්ෂණ සාමන්‍ය උණක් ලෙස සලකා නොසලකා හැරීමට ලක්වෙනවා. එසේ වන්නේ මෙම අවධියේදී රෝගියා දක්වන්නේ

  • වමනය ඔක්කාරය
  • හිසරදය හා නිරන්තර වෙහෙසකාරී බව
  • උණ ගතිය, වෙව්ලීම
  • බඩ එළිය යෑම
  • ශරීර බර පහත වැටීම
  • කුද්දටි ඇතිවීම
  • දිව හෝ මුඛය ආශ්‍රිත සුළු තුවාල ඇතිවීම ආදී ලක්ෂණ වීමයි

මෙම ලකුණු ඕනෑම ආසාදනයකදී පහසුවෙන් ඇතිවන ලක්ෂණ කිහිපයක්. හේතුවක් නිසාවෙන් HIV වෛරසයෙන් ආසාදනයට ලක්වූ පුද්ගලයෙකු හා ගැටීමක් ඇතිවුවේය යන්න පිලිබඳව ඔබට සැක සහිත නම්, HIV ප්‍රතිදේහ පරීක්ෂණය (HIV antibody test) සදහා යොමුවී සැකහැර ගැනීම වඩාත් සුදුසු වනවා.

2) Asymptomatic stage / රෝගී ලක්ෂණ වලින් තොර අවධිය.

මෙම අවධිය වසර 10ක පමණ කාලයක් පුරා පැවතෙනවා. මෙහි ඇති බරපතල බව වනුයේ විශේෂ වූ රෝගී ලක්ෂණයන් මෙම අවධියේදි ඇති නොවීමයි. නමුත් වෛරසය ශරීරය තුල අධික ක්‍රියාකාරී බවක්, මෙම සමය තුල දක්වනවා. ඒ කුද්දැටි හෙවත් වසා ගැටිති (lymphnodes) තුලයි. රුධිර සාම්පල වල වෛරසය දක්නට ලැබීමේ හැකියාව මෙම අවධියේදි අවම වනවා. නමුත් ප්‍රතිදේහ රුධිරගතව පවතින නිසා හදුනාගැනීමට අපහසුතාවයක් ඇතිවන්නේ නැහැ.

3) ක්‍රියාකාරී HIV අසාදිත අවධිය / active stage

වෛරස ආසාදනය උපරිම වීමත්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිද වැටීමත් සමග, ශරීරයේ සියලුම පද්ධති, වෙනත් වෛරස, බැක්ටීරියා හා දිලීර ආදී නොයෙක් ක්‍ෂුද්‍ර‍ ජිවින්ගේ ආසාදනවලට ලක්වෙනවා. ආසාදන වලට එරෙහිව ශරීරය ක්‍රියාකාරී වීම මේ වන විට අවම මට්ටමක පවතිනවා. පෙනහළු, රුධිරය, ස්නායු, ආහාර ජීර්ණ පද්ධතිය, සම, මුඛය හා උගුර ආශ්‍රිත ප්‍රදේශ ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා සියළුම කොටස් මෙම අසාදන වලට ලක්වීමේ හැකියාව වැඩිවනවා.

4) ඒඩ්ස් ( AIDS – Acquired immune deficiency syndrome)

ශරීර ප්‍රතිශක්තිකරණ හැකියාව සීග්‍රයෙන් බිදවැටීම නිසා මාරාන්තික ආසාදන හා පිළිකා තත්ව වලට යොමුව සිටින අවධියයි. මේ සදහා නිසැක ප්‍රතිකාර කිසිවක් නොමැති අතර, ඒ ඒ රෝගී ලක්ෂණ සදහා වෙන්වූ ප්‍රතිකාරත්, රෝගියාගේ සාමාජිය, කායික හා මානසික සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමට ලබාදිය හැකි සහනයන් පිළිබඳවත්, මෙහිදී සැලකිල්ලට ගැනෙනවා.

ස්තුතිය: Ask My Doctor වෙබ් අඩවියට

ඒඩ්ස් මාරාන්තික තත්වයට පත් වන්නේ මෙම අවස්ථාවේදීයි.

එහෙත්, HIV කිසිසේත් ම තව දුරටත් මාරාන්තික ලෙස නො සැලකිය යුතුයි. HIV ආසාදිතයකුට නිසි වෛද්‍ය ප්‍ර‍තිකාර ලබා ගැනීමෙන් වෛරසය පැතිරීම පාලනය කර ගන්නටත්, දිගු කලක් ජීවත් වන්නටත් හැකියාව තිබේ. දැන් HIV ආසාදිතයකුටත් දියවැඩියා, අධි රුධිර පීඩන වැනි රෝගියකු ජීවත් වනවා සේ ම වෛද්‍ය සත්කාර හා ඖෂධ සමග දිගු කලක් ජීවත් වීමේ හැකියාව තිබේ.

1980 ගණන්වල යල් පැන ගිය පණිවුඩ හා තොරතුරු මේ නව දැනුමට අනුව අලුත් කර ගත යුතුය.

COMMENTS ()

admin
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS