women
ගම්පෙරළියෙන් හෙළි වන රටේ මාතෘ සෞඛ්‍යයේ සිදු වූ පෙරළිය
by පැරකුම් ජයසිංහ
නොවැම්බර් 30, 2016
සම්භාවනීය ගත්කතුවර මාටින් වික්‍ර‍මසිංහයන් විසින් 1944දී මුල් වරට පළ කරන ලද ගම්පෙරළිය නවකතාවට පාදක කර ගන්නා ලද යුගය වන්නේ 20වන සියවසේ මුල් අර්ධයයි. එහි  නන්දා ජිනදාසට දාව සිය පළමු දරුවා ප්‍ර‍සූත කරන්නී ය.  එහෙත්, ඒ දරුවා ඉපදී දින කීපයකින් මිය යන්නේ ය. වාසනාවට නන්දා දිවි ගලවා ගන්නී ය.  එම සිද්ධිය ගම්පෙරළිය නවකතාවේ දැක්වෙන්නේ මෙසේ ය:
රෑ එකට නන්දා පිරිමි දරුවකු බිහි කළාය. තුන් දවසක් ඉකුත් වූ තැන බිළිඳාගේ මුහුණෙහි නරක ලකුණු දක්නා ලදින් ගාල්ලෙන් දොස්තරකු කැදවනු ලැබීය. ඔහු මහගෙදරට ළඟා වූයේ බිළිඳා මැරී පැයක් පමණ ගෙවුණු පසුය.  හඬා වෙහෙසීමෙන් මඳක් අසනීපෙන් උන් නන්දාට බෙහෙත් නියම කළ දොස්තර බිළිඳාගේ මළකඳ පරීක්ෂා කොට අනතුරුව නන්දාගේ කාමරයෙහි කුඩා මේසයක් උඩ තිබුණු කතුරක් අතට ගෙන බැලීය.
 
“ළමයාගේ පෙකණිය කපන්න ඇත්තේ මේ කතුරෙන් වෙන්න ඇති”යි දොස්තර ගුණවර්ධන කීය.
 

“ඔව්” මාතර හාමිණේ පිළිතුරු දුන්නාය.

කතුර තිබූ තැන යළිත් තබා සාලයට ගමන් කළ දොස්තර, ජිනදාස දුන් රුපියල් විසිපහ හකුලා කලිසන් සාක්කුවේ දමාගෙන වටපිට බැලීය. ඒ වෙලේම කාමරයෙන් පිටවුණු මාතර හාමිනේ දොස්තරට ළං වූවාය.

“ළමයා මැරෙන්න ඇත්තේ වින්නඹුවගේ වැරැද්ද නිසා,”යි දොස්තර කීය.

“හං කතුරෙන් පෙකණිය කපන්න වෑයම් කරද්දි පෙකණිය ඇදිලා තියෙනවා. ඒ අමාරුවට උණ අරගෙන ළමයාට වලිප්පුව හැදෙන්න ඇති. ඒ කතුර හොඳටම හං වෙලා. මැරිච්ච මිනිසුන්ගේ නහය කපන්න හොද කතුරක්.”

දොස්තර ගිය පසු ජිනදාස වින්නඹුව සමග කළහ කරන්නට සූදානම් වූ විට මාතර හාමිනේ ඔහු සනසනු පිණිස මෙසේ කීවාය.

“ඒ ගෑණි විතරක් නොවෙයි; අපිත් වැරදිකාරයෝ. හොද කතුරක් මේස උඩ තිඋණා. පරණ හං කතුර ඒ මේසෙ උඩ කවුරු ගෙනැත් තිවුවාද දන්නේ නැහැ. වින්නඹු ගෑණි අහන්නේත් හොයන්නේත් නැතුව අතට අහුඋණු කතුරෙන් පෙකණිය කපල තියෙනවා.”

මෙමගින් ඒ වන විට ලංකාවේ පැවති ළමා හා මාතෘ සෞඛ්‍යයේ පැතිකඩක් ගැන ද හෙළිදරව් වේ.

මෙම දරු උපත සිදු වන්නේ නිවසේ ය.

එසේම, දරු උපතට උපකාර කරන්නේ වෘත්තීය සුදුසුකම් ලත්, පුහුණු වින්නඹු මාතාවක් නො වේ.

එදා ළදරු හා මාතෘ මරණ අනුපාතික ඉහළ යන්නට මෙම තත්වය හේතු විය.

1960 වන විට ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය දරු උපත් ලක්ෂයකට 340ක් තරම් ඉහළ අගයක් විය.  එයින් අදහස් වන්නේ දරුවන් ලක්ෂයක් ඉපදෙන විට මව්වරුන් 340ක් මිය ගිය බවයි.

ශ්‍රී ලංකාවේ වින්නඹුවන් පුහුණු කිරීම ආරම්භ වුණේ යටත් විජිත පාලන සමය තුළදී 19වන සියවසේ අග හරියේදී ය. එතැන් සිට ලංකාවේ මාතෘ සෞඛ්‍ය අංශයේ සිදු වී තිබෙන සංවර්ධනයේ තරම අපට වාර්ෂික මාතෘ මරණ වාර්තාව ඇසුරින් වටහා ගත හැකි ය.

2015 වන විට මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට 33.7කි. 2015 වර්ෂයේදී දරු උපත් 334,821ක් සිදු වෙද්දී මාතෘ මරණ 113ක් සිදු වී තිබේ.

2014 වසරට සමානුපාතිකව, 2015 වසරේදී මාතෘ මරණ අනුපාතිකය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

2014 වර්ෂයේ මාතෘ මරණ අනුපාතිකය 32.03කි. 2013 වසරේ මෙය ලක්ෂයට 32.5 කි. 2012 වසරේ ලක්ෂයට 37.7කි.

වර්තමානය වන විට ලංකාවේ 98%කට වඩා දරු උපත් සිදු වන්නේ රෝහල්වල ය. දරු උපත් අතරින් 99%කට වඩා සිදු වන්නේ පුහුණු වින්නඹුවකගේ උපකාර ඇතිවයි.

2015 වර්ෂයේ මාතෘ මරණ වාර්තාවට අනුව මාතෘ මරණ 113 ක් සිදු විය. ඉන් 28ක් ම සිදුව ඇත්තේ හෘද රෝග නිසා ය. දෙවන ප්‍ර‍ධාන හේතුව වන්නේ ශ්වසන රෝගයි. මාතෘ මරණ අතරින් 54%ක් ම සිදු වී තිබෙන්නේ අවශ්‍ය වෛද්‍ය ප්‍ර‍තිකාර සඳහා යොමු වීම ප්‍ර‍මාද වීම නිසා ය.

ශ්‍රී ලංකාව ඉතා අඩු මාතෘ මරණ අනුපාතිකයක් ඇති රටකි. එහෙත්, මාතෘ මරණ අනුපාතිකය අවුරුදු 10ක පමණ සිට දරු උපත් ලක්ෂයකට 30 – 40 අතර විචලනය වෙමින් තිබේ.  මේ වන විට සෞඛ්‍ය අංශ උත්සාහ කරමින් සිටින්නේ මෙම හොඳ ස්ථානයෙන් ඉතා හොඳ ස්ථානයක් වෙත චලනය වන්නටයි.

මෙම ලිපිත් කියවන්න:

2014දී ශ්‍රී ලංකාවේ වළක්වා ගත හැකි මාතෘ මරණ 70ක්. එහි වගකීම කාට ද?
ශ්‍රී ලංකාවේ මාතෘ මරණ තවත් අඩු කිරීමට උත්සාහයක්
රස්නායකපුර 18 වියේ සිව් දරු මවකගේ කණගාටුදායක මරණයට හේතුව

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS