youth
පාසල් දරුවන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය අධ්‍යාපනය නංවන්නට රජයෙන් වැදගත් ඉදිරි පියවරක්
by admin
දෙසැම්බර් 14, 2015

grade7-health

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අසන ලද ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඉතා වැදගත් ප්‍ර‍තිපත්තිමය කරුණක් සඳහන් කළේ ය. ඒ වනාහි සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී පෙනී සිටිය යුතු අනිවාර්ය විෂයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ පාසල් දරුවන් අතර නිවැරදි අවබෝධයක් නොමැති වීමෙන් ගැටලු ඇති වී තිබෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

දැනට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා රජයේ පාසල්වල සියලු සිසුන්ට සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය උගන්වනු ලැබේ. එහෙත්, 10, 11 ශ්‍රේණි සහ අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය වෛකල්පික විෂයන් අතරට වැටෙයි. තුන්වන කාණ්ඩයයේ විෂය ලැයිස්තුවෙන් එකක් වන එය හැදෑරීම අනිවාර්ය නැත. ඒ වෙනුවට එම කාණ්ඩයේ වෙනත් විෂයක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව තිබේ.

මෙම විෂය කාණ්ඩයට ඇතුළත් වන විෂයයන් මෙසේ ය:

  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • නිර්මාණකරනය හා තාක්ෂණවේදය
  • ශිල්ප කලා
  • කෘෂි හා ආහාර තාක්ෂණය
  • ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ගෘහ ආර්ථික විද්‍යාව
  • විද්‍යුත් ලේඛනය හා ලඝු ලේඛනය

මෙම විෂය කාණ්ඩයේ තවමත් ජනප්‍රිය ම විෂය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන විෂයයි. සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ ආකාරයට සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් 40%ක් දැනට ද මෙම විෂය හදාරති.

අප මේ පිළිබඳ කරන ලද විමසීමෙහිදී හෙළිදරව් වූයේ සිසුන් මෙම විෂය පහසුවෙන් සමත් විය හැකි හා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගත හැකි විෂයක් ලෙස සලකන බවයි.

එහෙත්, අභියෝගවලට මුහුණ දීමට කැමති හා සිය රුචිකත්වයන්ට ප්‍ර‍මුඛත්වය දෙන සිසුන් විසින් එම කාණ්ඩයේ තිබෙන වෙනත් විෂයයන් හදාරනු ලබන බව දැකිය හැකි ය.

දැනට අ.පො.ස. (සා.පෙ.) විභාගයේදී සිසුන් විෂයන් 9කට පෙනී සිටින අතර  ගණිතය, බුද්ධාගම, සිංහල භාෂාව හා සාහිත්‍යය, ඉංග්‍රීසි, විද්‍යාව හා තාක්ෂණය, ඉතිහාසය යන විෂයයන් හය අනිවාර්ය ය. සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය අනිවාර්ය කිරීමත් සමග අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව හතක් වනු ඇත.

7 ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි සෞඛ්‍යයට අදාළ අභියෝග ජය ගනිමු යන පාඩමෙහි ඒඩ්ස් රෝගය ගැන අධ්‍යාපනයක් දරුවාට ලබා දෙයි. එහි ම යෞවනයට අත්වැලක් යන පාඩමෙන් දරුවා ලිංගික අධ්‍යාපනයකට සූදානම් කිරීමක් සිදු වේ.

ළමයින් නව යොවුන් වියට එළඹෙමින් සිටින 8 ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි ලිංගික අධ්‍යාපනය ස්පර්ශ වී යන යෞවන අවශ්‍යතා යන පාඩමක් තිබේ. එහි ම යෞවනෝදය හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා සම්බන්ධ ප්‍ර‍ජනන පද්ධතිය හා එහි ක්‍රියාකාරිත්වය යන පාඩම හා යෞවනයේ ප්‍ර‍ජනක සෞඛ්‍යය යන පාඩම ද අඩංගු වේ.

9 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි පුමිතිරි බවෙහි අභිමානය සුරකිමු මැයෙන් අගනා ලිංගික අධ්‍යාපනික පාඩමක් අඩංගු වේ. එහි ලිංගික අනන්‍යතාව, ලිංගිකත්වය යහපත් අන්දමින් යොදා ගත හැකි ආකාරය, එය අයහපත් අන්දමින් යොදා ගැනීමේ ආදීනව, වගකීම් සහගත ලිංගික චර්යා, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය, ගැබිණි අවස්ථාවේදී පුරුෂයාගේ කාර්යභාරය, ළමා සංවර්ධනයේදී පුරුෂයාගේ දායකත්වය වැනි කරුණු සාකච්ඡා කෙරේ. සමාජයීය අභියෝගවලට සාර්ථක ව මුහුණ දෙමු යන පාඩමෙහි යෞවනෝදය, , ලිංගික හිංසනය, ඒඩ්ස් වැනි කරුණු කාලීනව සාකච්ඡා කෙරේ.

10 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය නිර්දේශය යටතේ ළමා වියේ සංවර්ධනය පිළිබඳ දැනුම්වත් වෙමු යන 1 පාඩමෙහි වයස අවුරු 10 දක්වා ළමා විය පිළිබඳව ද, මවක වීමට පෙර දැන ගත යුතු කරුණු, පූර්ව ප්‍ර‍සව අවධිය යන ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ කරුණු ද කෙටියෙන් සාකච්ඡා වේ.  එම පෙළ පොතෙහි ම ජීවිතයේ මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගනිමු යන 10වන පාඩමෙහිදී ද ලිංගික හිංසනය පිළිබඳ සාකච්ඡා කෙරේ.

10ශ්‍රේණියේ සිරුරේ නීරෝගී බව රැක ගනිමු යන 8වන පාඩමෙහි ප්‍ර‍ජනක පද්ධතිය පිළිබඳ අගනා පාඩමක් ඇතුළත් වේ. ආර්තව චක්‍ර‍ හා ස්ත්‍රී ප්‍ර‍ජනක හෝමෝන, පුරුෂ ප්‍ර‍ජනක පද්ධතිය, ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග, ප්‍ර‍ජනක පද්ධතිය ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට කළ හැකි දේ ඇතුලු වැදගත් කාරණා රැසක් එහි සාකච්ඡා කෙරේ.

11 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි ලිංගික අධ්‍යාපනයට වැදගත් වන්නා වූ පාඩම් කීපයක් ම තිබේ. ඒවා නම්,

මෙම පෙළ පොත්වල ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා වැදගත් වන විෂය කරුණුවලට අමතරව, නිවැරදි ඉරියව්, නිවැරදි චර්යා, සනීපාරක්ෂාව, සෞඛ්‍යාරක්ෂක පුරුදු, ලෙඩ රෝග වළක්වා ගැනීම, නිවැරදි ආහාර රටා, ශාරීරික අභ්‍යාස, ක්‍රීඩා, විවේකය ගත කිරීම, යෞවන අවශ්‍යතා, පරිසරය වැනි නව යෞවනයකුගේ ජීවිතයට ඉතා වැදගත් කරුණු රැසක් ද අඩංගු වේ.

එම නිසා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය සියලු දරුවන්ට ඉගැන්වීමට පියවර ගැනීම ඉතා වැදගත් ය. එහෙත්, ඒ සමගම අ.පො.ස. (සා.පෙ.) විෂය සංඛ්‍යාව 10 දක්වා වැඩි වී දරුවන්ට විභාග බර තවත් වැඩි වේ ද යන කාරණය ගැනත් විමසිලිමත් විය යුතු ය.

COMMENTS ()

admin
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS