Warning: file_get_contents(http://graph.facebook.com/?ids=http://kiyanna.lk/sinhala/1153/): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home/content/25/11452725/html/encyte/production/kiyanna/wp-content/themes/kiyanna/functions.php on line 186

Warning: file_get_contents(http://graph.facebook.com/?ids=http://kiyanna.lk/sinhala/1153): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home/content/25/11452725/html/encyte/production/kiyanna/wp-content/themes/kiyanna/functions.php on line 197
women-youth
පාසල්වල ලිංගික හා ප්‍ර‍ජනන අධ්‍යාපනය ගැන ගුරුවරුන් සිතන හැටි
by admin
නොවැම්බර් 19, 2015

ශ්‍රී ලංකාවේ පාසල් පෙළ පොත් සම්බන්ධයෙන් අප විසින් කරන ලද අධ්‍යයනයෙන් පෙනී ගියේ දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය සඳහා මහෝපකාරී වන පාඩම් රැසක් ම එම පෙළ පොත්වල තිබෙන බවයි. (එම අධ්‍යයනය මෙතැනින් කියවන්න: ශ්‍රී ලංකාවේ පාසල් පෙළ පොත් හා ලිංගික අධ්‍යාපනය)

එහෙත්, තරුණ සමාජය අතර ලිංගික අධ්‍යාපනයේ බරපතල ගැටලුවක් ඇති බව සලකුණු කරන සිදුවීම් සමාජයේ සුලබ ය. උපත් පාලනය පිළිබඳ දැනුවත්භාවයේ ගැටලු හේතුවෙන් බාල වයස්කාර දැරියන්ට දරු උපත් සිදු වීම මේ පිළිබඳ කදිම උදාහරණයකි. 

අප මේ පිළිබඳව පාසල් ගුරුවරුන් රැසක් සමග සාකච්ඡා කළෙමු. එහිදී උතුරුමැද පළාතේ දුෂ්කර ප්‍රදේශයක විදුහල්පතිවරයකු සිය තුරුණු වියේ අත්දැකීමක් අප සමග සාකච්ඡා කරමින් පැවසූවේ තමන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට පවා සිතාගෙන සිටියේ දරුවන් ලැබීම සිදු වන්නේ ගුද මාර්ගය ඔස්සේ බවයි. ලිංගික හා ප්‍ර‍ජනන අධ්‍යාපනය හා සම්බන්ධ දැනුම ලබා ගැනීමේ මාර්ගයක් තමන්ට නො තිබීම එයට හේතුව බව ඔහුගේ අදහසයි.

වැඩිහිටි ගුරුවරුන් බොහෝ දෙනෙකු පැවසුවේ තමන් තුරුණු වියේදී ද ලිංගික හා ප්‍ර‍ජනන අධ්‍යාපනය ලබා ගැනීමේ ප්‍ර‍ධාන මාධ්‍යය වුණේ සම වයස් කණ්ඩායම් තුළ සාකච්ඡා බවයි. ඊට අමතරව නව යොවුන් වියේ පුද්ගලයන් අතර රහසිගතව හුවමාරු වූ පොත්, පත් ආදිය ද තිබුණු බව ඔවුහු පැවසූ හ.

අද වන විට තත්වය බෙහෙවින් වෙනස් ය. පාසල් විෂය මාලාව තුළ ලිංගික අධ්‍යාපනයට සාධාරණ අවකාශයක් ලබා දී තිබෙන බව අපගේ අධ්‍යයනයෙන් පෙනිණි. එසේ තිබියදී ද ලිංගික අධ්‍යාපන දැනුම නිසි ලෙස තරුණ පරපුර වෙත ගලා නො යන්නේ මන්ද යන කාරණය අපි පාසල් ගුරුවරුන් විශාල පිරිසක් සමග සාකච්ඡා කළෙමු.

කොළඹින් බැහැර නාගරික පාසලක විද්‍යා ගුරුවරයකු වන විපුල මහතා පැවසුවේ තමන් ප්‍ර‍ජනනය පිළිබඳ පාඩම්වලට එතරම් අවධානයක් යොමු නො කරන බවයි. සිසුන්ට එම දැනුම ඇති බව ද, ළමයින් සිනාසීම, උසුළු-විසුළු වැනි දේ නිසා එම පාඩම් ඉගැන්වීමේදී පංති පාලනය දුෂ්කර බව ද ඔහුගේ අදහසයි.

එහෙත්, තවත් විද්‍යා ගුරුවරයකු වන කෝසල මහතා පැවසුවේ ළමයින් මෙම පාඩම්වලට උනන්දුවෙන් සහභාගි වන බවයි. එහෙත්, ප්‍ර‍ජනනය පිළිබඳ විද්‍යා පාඩම් විද්‍යාත්මක කරුණුවලට සීමා වන නිසා ළමයින්ට එමගින් පුළුල් ලිංගික අධ්‍යාපනයක් නො ලැබෙන බව ඔහුගේ අදහසයි. එහෙත්, ළමයින් පෙළ පොත ලැබුණු පසු මෙම පාඩම උනන්දුවෙන් කියවන බව ද, පිරිමි ළමයින් පෞද්ගලිකව පැමිණ ප්‍ර‍ශ්න අසන බව ද ඔහු පැවසී ය. බොහෝ පිරිමි ළමයි ස්ත්‍රී මෞත්‍ර‍ ලිංගික පද්ධතිය හා ප්‍ර‍ජනන පද්ධතිය සඳහා තිබෙන්නේ එක ම මාර්ගයක් යයි සිතා සිට ප්‍ර‍ජනනය පිළිබඳ විද්‍යා පාඩම්වලින් සිය දැනුම නිවැරදි කර ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

විද්‍යා ගුරුවරියක වන රුද්‍රිගු මහත්මිය පැවසුවේ විද්‍යාව, ශාරීරික අධ්‍යාපනය වැනි විෂයන් හැර වෙනත් විෂයන් උගන්වන බොහෝ ගුරුවරුනුත්, විශේෂයෙන් ම බොහෝ ගුරුවරියනුත් ලිංගික අධ්‍යාපනය දරුවන්ට කුණුහරුප ඉගැන්වීමක් ලෙස දැකීම බරපතල ගැටලුවක් බවයි.

9 ශ්‍රේණියේ දරුවන්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලිංගික අධ්‍යාපනය සඳහා හඳුන්වා දෙන ලද ‘උදා වූ යෞවනය’ නම් පෙළ පොත මෙවැනි විරෝධයන් නිසා භාවිතයෙන් ඉවත් කරන්නට සිදු වූ බව ඇය පැවසුවා ය.

පිරිමි, ගැහැනු ළමයි කවුරුත් පෙළ පොතේ මේ පාඩම් ඉතා උනන්දුවෙන් කියවා ඇති මුත්, ප්‍ර‍ශ්න ඇසීමට පෙළඹෙන්නේ පිරිමි ළමයින් පමණක් බව ද ඇය පැවසුවා ය. ගැහැනු ළමයි යෞවනෝදයේදී මුහුණ දෙන ගැටලු පාසල් ගුරුවරියන් සමග සාකච්ඡා කිරීම ඇත්තේ අවම මට්ටමක බව ද දැනට නියෝජ්‍ය විදුහල්පතිනියක වන ඇගේ අදහසයි.

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන සුනීතා මහත්මිය පැවසුවේ ක්‍රීඩා කටයුතු නිසා ඇති වන සමීපතාව තුළ දරුවන් තමන් සමග ලිංගික අධ්‍යාපනයට සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට පෙළඹෙන නිසා තමන්ට විෂය නිර්දේශයේ තිබෙන පාඩම් ඉගැන්වීමේදී අපහසුතාවක් ඇති නො වන බවයි. එහෙත් 9වන ශ්‍රේණියෙන් පසු සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය සියලු ළමයින් හදාරන්නේ නැති බැවින් ජීවිතයට ඉතා වැදගත් කරුණු සම්භාරයක් ළමයින් විශාල පිරිසකට මගහැරෙන බව ඇගේ අදහසයි.

වැඩි වශයෙන් ගැහැනු ළමයින් විසින් හදාරනු ලබන ගෘහ ආර්ථික විද්‍යාව විෂය උගන්වන වසන්ති මහත්මිය පැවසුවේ සිසුවියන් යෞවනෝදයත් සමග මතු වන ගැටලු ඔවුන් සමග සාකච්ඡා කරන අවස්ථා ඇති බවයි. එහෙත්, දරුවන් ළඟ සමාජයෙන් ලබා ගත් වැරදි අදහස් විශාල වශයෙන් තිබෙන බව ද ඇය පෙන්වා දුන්නා ය.

දකුණු පළාතේ ග්‍රාමීය පාසලක විද්‍යා විෂය උගන්වන වත්සලා මෙනෙවිය ද පෙන්වා දුන්නේ දරුවන් අතර ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ මූලික දැනුම ඉතා අවම බවයි. උදාහරණයක් ලෙස 11 ශ්‍රේණියේ එක් දැරියක් බැළලිය පැටවුන් දමන්නේ කටින්දැයි ඇගෙන් ඇසූ බව ඇය කීවා ය. මුලින් ඇය මේ ප්‍ර‍ශ්නය ගැන පුදුම වුණත් පසුව බලන විට මෙම දැරිය බැළලියක මළ පැටවුන් කනු දැක මෙසේ අසා තිබේ.

කෙසේ වෙතත්, ගුරුවරුන්, ගුරුවරියන් සමග අප කළ සාකච්ඡාවලදී පැහැදිලි වූ කරුණක් වූයේ පාසල් පෙළ පොත්වල ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ කරුණු කෙතරම් ප්‍ර‍මාණයක් තිබුණත්, තවමත් පුළුල් ලිංගික අධ්‍යාපනයක් පාසල්වලින් දරුවන්ට නො ලැබෙන බවයි.

COMMENTS ()

admin
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS